https://www.gossiplankanews.com/2019/05/chairman-ps-protest-asad-sali.html
ළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ ඊයේ (30) උදේ පැවැති කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පැමිණි අවස්ථාවේදී රැස්වීමට සහභාගි වී සිටි කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල සභාපතිවරු රැස්වීමෙන් පිටවී ගියහ.

කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතාගේ  ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විණි.

රැස්වීම ආරම්භයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න හා කළුතර දිසා ලේකම් යූ.ඩී.සී. ජයලාල් යන මහත්වරුන්ද සභාව අමතමින් ජනාධිපතිවරයා විසින් මෙම කමිටුවේ සම සභාපතිවරයා ලෙස බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතා මැයි මස 28 වැනිදා සිට පත්කර ඇති බව දැනුම් දුන්හ.



රැස්වීම පැවැත්වෙමින් තිබියදී අසාද් සාලි මහතා පැමිණ අසුන් ගැනීමත් සමග කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල  සභාපතිවරු රැස්වීම් ශාලාවෙන් පිටව ගියහ.  ඒ සමගම පිටතට පැමිණි මාධ්‍යවේදීන් සභාපතිවරුන් හමුවී රැස්වීමෙන් පිටවී යන්නේ මක්නිසාදැයි විමසු විට ඊට පිළිතුරු දුන් වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරල මහතා පැවසුවේ රැස්වීම් ශාලාවේ තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති නිසා පිටව යන බවය.


පළාත් සභාව විසුරුවා ඇති බැවින්  නිලධාරින් හිතුමතේ කටයුතු කරන බව කී  අතුකෝරල මහතා ඉක්මනින් පළාත් සහා මැතිවරණය පැවැත්විය යුතු බවද ප්‍රකාශ කළේය.

මේ අතර හෙට්ටිපොල සීවලී සහ  මස්පන්නේ ගුණසේකර යන හිමිවරුන් ඇතුළු හිමිවරු හා තවත් පිරිසක්ද අසාද් සාලි මහතාට එරෙහිව දිසා ලේකම් කාර්යාලයේ ගේට්ටුව අසල විරෝධතාවයක යෙදී සිටියහ.

අසාද් සාලි මහතා රැස්වීම අවසානයේ පිටුපස දොරටුවෙන් පිටතට යැවීමේදී එහි  ගිය භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස ඔහුට විරෝධය පළ කළ අතර පිරිසක් "හූ" කියමින්ද වීරෝධය පළ කළහ.
(කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)