මෙවර වෙසක් තෙමඟුලට සමගාමීව ජනාධිපති පොදු සමාව යටතේ ඉතිහාසයේ ප්‍රථමවතාවට බන්ධනාගාරගත වූවන් 728 දෙනකු නිදහස් කර හැරීමට නියමිතය. බලපත්‍ර මත පුද්ගලයන් 34 දෙනකු නිදහස් කෙරේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසන්නේ පොදු සමාව ලබන
පුද්ගලයන් අතර පිරිමි
702ක් හා කාන්තාවන් 26 දෙනකු සිටින බවත් ඔවුන් සියලු දෙනාම සුළු වැරදි සම්බන්ධයෙන් සිරගත වූවන් බවය.

ඉහතකී පුද්ගලයන් 728 දෙනාට අමතරව බන්ධනාගාරගතව සිටි තවත් පුද්ගලයන් 34 දෙනකුටද නිදහස ලැබීමට නියමිත බවද එකී පුද්ගලයන් යහපත් ක‍්‍රියාවෙන් යුක්තව දිර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටිම හේතුවෙන් ඔවුන්ට එසේ නිදහස ලැබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසිය.

මේ අනුව මෙවර වෙසක් තෙමඟුලට සමගාමීව සිරකරුවන් හා සිරකාරියන් 762 දෙනකු නිදහස ලැබීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන උපුල්දෙණිය මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නිදහස ලබන සියලු දෙනා දිවයිනේ සියලුම බන්ධනාගාරවලින් තෝරාගත් පුද්ගලයන් බවය. බන්ධනාගාරගතව සිටින ඥානසාර හිමියන් නිදහස් කර හැරිමට උපදෙස් ලැබි නොමැති බවද ඒ මහතා කීය.