අල්ලස් චෝදනාවලට වරදකරු කෙරුණු පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් සැරයන්වරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ බව වාර්තාකරු පවසයි.



කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් දඬුවම් නියම කරනු ලැබූ බව වාර්තා වෙයි.

2006 වසරේ දෙසැම්බර් මස 11 වනදා බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ආකාරයෙන් වල් ඌරු මස් අලෙවි කළ පුද්ගලයෙකුට එරෙහිව නීති මඟින් ක්‍රියා නොකර සිටීම සඳහා රුපියල් 10,000 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 5000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බවට චෝදනා කරමින් තීනියාවල පොලිසියේ පොලිස් පරීක්ෂක මහින්ද කිත්සිරි කහපොල ආරච්චි සහ පොලිස් සැරයන් සඳකැලුම් ජයවර්ධන යන විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත්කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවත් ඒ අනුව ඔවුන් වරදකරු කරන බවත් ප්‍රකාශ කළේය.

ඒ අනුව විත්තිකාර පොලිස් පරීක්ෂකවරයාට බරපතළ වැඩ සහිත වසර 04ක සිර දඬුවමක් නියම කළ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් විසි දහසක දඩයක් ද නියම කරනු ලැබුවේය.

ඊට අමතරව විත්තිකාර පොලිස් සැරයන්වරයාට වසර 07ක සිර දඬුවම් නියම කළ අතර ඊට අමතරව රුපියල් 40000/- දඩයක්ද විනිසුරුවරයා විසින් නියම කරන ලදී.