ෆේස් බුක් වෙබ් අඩවිය මගින් ලබාදෙන ෆේස්බුක් ලයිව් පහසුකම භාවිත කිරීමේදී දැඩි සීමා පැනවීම් සිදුකරන බව එම සමාගම පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. පසුගිය අප්‍රේල් මාසයේදී නවසීලන්තයේ ක්‍රයිස්ටීචර්ච්හි මුස්ලිම් පල්ලියකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව ඇති වුණු තත්වයට ප්‍රතිචාර ලෙස
ඔවුන් මෙම තීරණය ගෙන ඇත.

මේ අතරම අන්තර්ජාලය හරහා සිදුවන ප්‍රචණ්ඩක්‍රියා වැළැක්වීමේ අරමුණින් ලෝක නායකයන් එකතුව  සිදුකිරීමට සැලසුම් කර ඇති හමුවකට සමගාමීව ෆේස්බුක් සමාගම මෙම පියවරට පිවිස තිබීමත් විශේෂත්වයකි.  ඒ අනුව මීට පෙර ෆේස්බුක් වෙබ් අඩවිය තුළ විවිධ කඩාකප්පල්කාරී හැසිරීමක් හෝ අත්තවාදී අදහස් ඉදිරිපත් කර විනය ක්‍රියාමාර්ගයකට යටත් වූ පුද්ගලයෙකුට මෙම ෆේස්බුක් ලයිව් පහසුකම භාවිත කිරීම් අවස්ථාව තාවකාලිකව අවහිර කිරීමට කටයුතු යොදා ඇත.

එසේම පළමුවරට ෆේස්බුක් භාවිත කරන පිරිස් වෙත යම් කාලයක් යනතුරු මෙම ෆේස්බුක් ලයිව් පහසුකම ලබා නොදීමටත් තීරණය වී තිබේ.