උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂනායක මේජර්  ජෙනරාල් ජානක පෙරේරා මහතා, එම මහත්මිය ඇතුළු පුද්ගලයින් 28 දෙනෙකු අධිබලැති මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කිරිමට
කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් වසර 11කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඝාතන නඩුවේ ප්‍රධාන විත්තිකරුට අනුරාධපුර අංක  02 මහාධිකරණයේ විනිසුරු (පුර්වගාමී විනිසුරු) හා වර්තමාන ගම්පහ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය වසර 60ක අනිවාර්ය
සිරදඬුවමක් සමග ජීවිතාන්තය දක්වා සිරදඩුවමක් ඊයේ (21) නියම කළාය.

2008 වර්ෂයේ ජනවාරි මස 01 වැනි දින සිට වර්ෂ 2008 ඔක්තෝබර් මස 06 වැනි දින දක්වා කාලය තුළ උතුරු මැද පළාතේ හිටපු විපක්ෂනායක මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු පුද්ගලයින් 28 දෙනෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, අනුබල දීම ඇතුලු චෝදනා 48ක් යටතේ පළමු වන විත්තිකරු වූ මහසියඹලාගස්කඩ මැදවච්චිය ලිපිනයේ පදිංචි  මොහොමඩ් උමාර් හක්තාබ් නමැත්තා අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටියේය. මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු පිරිස ඝාතන කිරීමට කුමන්ත්‍රණය කිරීම, අනුබලදීම ඇතුළු චෝදනා තුනකට වසර 20 බැගින් වසර 60ක සිරදඬුවම් නියම කළ විනිසුරුවරිය, ජානක පෙරේරා මහතා ඇතුළු පුද්ගලයන් 28 දෙනෙකු ඝාතන කිරීමේ චෝදනාවට (අධිචෝදනා 4 සිට 31 දක්වා)

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළාය.

අධිචෝදනා 31 සිට 48 දක්වා සියලුම චෝදනාවන්ගෙන් විත්තිකරු නිදොස් කර නිදහස් කිරීමටද විනිසුරුවරිය නියෝග කළාය. අනුරාධපුර ධර්මපාල මාවතේදී උතුරුමැද පළාත් හිටපු විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා මහතාගේ පුද්ගලික කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට කඩාවැදුණු ඝාතකයා විසින් පුපුරවාගත් අධි බලැති මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජානක පෙරේරා මහතා ඒ මහතාගේ බිරිද ඇතුලු පුද්ගලයින් 22 දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර  තවත් පුද්ගලයින් 6 දෙනෙකු පසුව ජීවිතක්ෂයට පත්
විය.

තවත් 18 දෙනෙකු බරපතළ තුවාල ලැබු අතර 76  දෙනෙකුට අසන්න පිරිසක් ඉන් සැලකිය යුතු තුවාල ලැබීය. මෙම බෝම්බ ප්‍රහාරයෙන් උතුරු මැද පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වූ සරත් දිසානායක, නූර්දීන් මොහොමඩ්, එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර හිටපු කළමනාකරු වූ වෛද්‍ය රාජා ජෝන්පුල්ලේ, ජේනීටා ජෝන්පුල්ලේ අධිනීතිඥ  ඒ.සී.එස්. හමීඩ්, ඒ මහතාගේ බිරිද වූ ජෙසීමා හමීඩ්, නීතිඥ තනුජා රාජපක්ෂ, මාධ්‍යවේදී මොහොමඩ් රශ්මි මහරුෆ් ඇතුළු පිරිසක් ඝාතනයට ලක්වූහ.

වසර 11කට ආසන්න කාලයක් මෙම සිද්ධියට සම්බන්ධ නඩු විභාගය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, අනුරාධපුර විශේෂ මහාධිකරණය හා අනුරාධපුර මහාධිකරණයේ විභාගයට ගැනිණි. ප්‍රකාශයට පත්කළ නඩු තීන්දුව පිටු සියයකට අධික වේ. බෝම්බ සිද්ධියේ සාක්ෂි වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකුගේ ප්‍රකාශයන් සටහන් කර ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ස්වයං ඝාතකයෙකු වූ වසන්තන් නොහොත් යක්කලමුල්ල සමන් කුමාර නොහොත් තම්බියා නැමත්තා යොදවා ජානක පෙරේරා මහතා ඇතුළු පිරිස ඝාතනය කිරීමට පළමු විත්තිකරු  සමග කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් නඩුවේ දෙවන විත්තිකරුවු එල්.ටී. ටී.ඊ. සංවිධානයේ හිටපු කර්නල්වරයෙකුවු සම්මුගන් සුදාහරන් (45) යන අය මීට වසර තුනකට ඉහතදී අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුට වසර 20 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම විය.

-බී.එම්.විජේසුරිය-