කැකිරාව තලාව මාර්ගයේ යතුරුපැදියක මාර්ගය හරහා මාරුවන අලියෙකු ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ වයස අවුරුදු දෙකහමාරක් පමණ වන කුඩා දැරියක හා අඹු සැමි යුවළක් ප්‍රතිකාර සදහා කැකිරාව
රෝහලට ඇතුළත් කර තිබේ. කැකිරාව තලාව මාර්ගයේ ඉහළගම 5 කණුව අසල අලිමංකඩදි ඉකුත්දා (19) රාත්‍රියේ මෙම අනතුර සිදුවී තිබිණ. අනතුරට මුහුණ පා ඇත් අලුත් ගන්තිරියාගම පදිංචි කේ.
නෙල්සන් කරුණාතිලක (42) එස්. ඉරෝෂා කාන්ති ප්‍රියදර්ශනී (38) හා සුලක්ෂි ෂසෙත්මා (අවු 2යි මාස O9)
යන තිදෙනාය.

අනතුරට පත් පිරිස පැමිණි යතුරු පැදිය අලිමංකඩ හරහා ධාවනය වන අස්ථාවේ හදිසියේ මාර්ගයට කඩාවැදී ඇති වල් අලියෙකු එම යතුරු පැදියේ ගැටී තිබේ.

එම අවස්ථාවේ වල් අලියා එල්ල කළ පාපහරකින් යතුරු පැදියේ ගමන්ගත් කුඩා දැරිය ඇතුළු තිදෙනා සමග යතුරු පැදිය අසල කානුවට විසිවී වැටී තිබේ.  සිද්ධියත් සමග කලබලයට පත්ව ඇති වල් අලියා අනතුරට පත් යතුරු පැදිය මාර්ගය අසල වූ කොටයක ගසා දැමූ බව සිද්ධිය දුටු කාන්තාවක පැසුවාය.

ඇය සිද්ධිය විස්තර කරමින් මෙස් ද කීවාය. අපි දෙගොල්ල එකට යතුරු පැදි දෙකක  ගමන් කළා. ඉහළගම අලිමංකඩ හරහා යමින් සිටියදි එක්වරම වල් අලියකු පාරට පැන්නා. එම අවස්ථාවේ නංගිලා ගිය යතුරුපැදිය අලියගේ ගැටුණා. ඒ වෙලාවේ අලියා ඒ යතුරු පැදියට පයින් ගැහුවා. එතකොට යතුරු පැදිය දූටි දූත් එක්ක තුන්දෙනාම එක්ක පාරේ කානුව පැත්තට විසිවුණා. මම හයියෙන් කෑ ගැහුවා.


පාර දෙපැත්තේ වාහන නවත්වලා තිබුණත් අලියට තිබුණ බියට ඒ කවුරුත් ළගට ආවේ නැහැ. පස්සේ අලියා කානුවේ තිබුණු යතුරු පැදිය අරගෙන අසල තිබුණ කොටයක ගහලා පෑගුවා. මම් චූටි දුව ගැන කිය කියා කෑ ගැහුවා. අලියා ඒ අසල හිටියා අලියා එතැනින් ගියේ නැහැ.

ආයේ අලියා මේ අයට ගහයි කියලා බයටම මට තවත් හයියෙන් කෑ ගැස්සුනා. කෑ ගහලා කෑ ගහල අලියා ටිකක් එහාට වුණාට පස්සේ කට්ටිය ඇවිත් දරුවයි අයියයි නංගියි අරගෙන කැකිරාවේ රෝහලට ගියා. පාරේ ආව වෑන් රථයක් රෝගීන් රෝහලට ගෙනයන්න උදව් කළා.

(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)