දිවයිනේ ප්‍රදේශ ගණනාවක ජාතික තවුහිත් ජමාත් ත්‍රස්ත සංවිධානය විසින් පවත්වාගෙන ගිය කඳවුරු 17 කදී දහසකට අධික පිරිසක් පුහුණුව ලබා ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණයවී තිබේ.

කුරුණෑගල ශික්ෂන රෝහලේ සේවය කරමින්  සිටිය දී අත්අඩංගුවට ගත් මොහොමඩ් සාජහාන් නමැති විද්‍යුත් ඛන්තුරේඛණ නිලධාරියාගෙන්  වැඩිදුරටත් කරන ලද ප්‍රශ්න කිරිම්වල දී මෙම තොරතුරු අනාවරණය වී තිබේ.

ඔහුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව ජාතික තවුහීත්
ජමාත් සංවිධානයේ නායකයා වනාතවිල්ලුව, නුවරඑළිය, මහනුවර,අරුපොළ, අක්කරේපත්තුව, සමන්තුරේ, කල්මුනේ, හම්බන්තොට සහ කුරුණෑගල ආදී ප්‍රදේශ ආශ්‍රිතව එම සංවිධානයේ ප්‍රධාන පුහුණු කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.  මෙම ප‍්‍රධාන කඳවුරුවලට අමතරව නිට්ටඹුව, තිහාරිය, මීරිගම, ගම්පොළ, මහනුවර, හන්තාන, හෝටන්තැන්න ආශ්‍රිතව අඹේවෙල ආදී ප්‍රදේශවල ද සහරාන් හෂීම් තම සංවිධානයේ පුහුණු කදවුරු පවත්වාගෙන ගොස් තිබූ බව කියයි.

 කුරුණෑගල අලකොළදෙණිය ප්‍රදේශයේ පොල්වත්තක පවත්වාගෙන ගිය පුහුණු කඳවුර බාරව අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ නිලධාරියා සහ එම වත්තේ හිමිකරු කටයුතු කර ඇතැයි ද ගල්ගමුව, තිහාරීය, පුත්තලම, කාත්තන්කුඩිය ප්‍රදේශවලින් පැමිණි 200කට ආසන්න මුස්ලිම් තරුණයන් පිරිසක් මෙහි පුහුණුව ලබා ඇතැයිද ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළිවී ඇත.

මේ ආකාරයට තවුහීත් ජමාත් සංවිධානයේ පුහුණුව ලැබ දිවයින පුරා විසිරි සිටින ත්‍රස්ත සාමාජිකයන් සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු ලැබී ඇති බව ද ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව ද මේ සම්බන්ධයෙන් පරික්ෂණය මෙහෙයවන කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා ප්‍රකාශ කළේය.


(පුෂ්පකුමාර ජයරන්න )