එළැඹෙන වෙසක් මංගල්‍යයට සමගාමීව දිවයිනේ කිසිදු ප්‍රදේශයක තොරණ හා වෙසක් කූඩු ප්‍රදර්ශනය කිරීම මෙන්ම වෙසක් කලාප වැනි මහජනතාව ඒකරාශි වන කිසිදු ප්‍රදර්ශනයක් පැවැත්වීම තහනම් බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. ඉතිහාසයේ කිසිවිටෙක මෙවැනි තහනම් කිරිමක් මෙරට
තුළ සිදුවී නැති අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍යවරයා පවසන්නේ රට තුළ දැනට උද්ගතව තිබෙන අවදානම් තත්වය සැලකිල්ලට ගනිමින් ශාසනාරක්ෂක බල මණ්ඩලවල එකඟතාව මත එකී තහනම් කිරීමේ තීරණය ගත් බවයි.

දන්සල් පැවැත්වීම එතරම් සුදුසු නොවන බවද විහාරස්ථාන තුළ ඉතා ආරක්ෂා සහිතව දන්සල් පැවැත්වීම සුදුසු බව තම මතය බවද කිසියම් ප්‍රදේශයක වෙසක් කලාපයක් පැවැත්වීමට අවශ්‍ය නම් එකී පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් වගකිව යුතු ආරක්ෂක අංශවල උපදෙස් ලබාගත යුතු බවද ඒ මහතා පවසයි.
ආගමික වතාවත් සිදු කිරීම සඳහා විහාරස්ථාන
වෙත යන බැතිමතුන් ප.ව. 8.00ට පෙර එකී ආගමික වතාවත්වල නිරත වීම සුදුසු බවද එසේ විහාරස්ථාන වෙත යන බැතිමතුන් පරික්ෂා කිරිම සඳහා ප්‍රදේශයේ සියලු ආරක්ෂක බල මණ්ඩලවල හා දායක සභාවල සහාය ලබාගැනීමට අදාළ විහාරස්ථාන භාර විහාරාධිපතිවරුන් පියවර ගත යුතුව ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

වන්දනා ගමන් යන බැතිමතුන්ට මෙන්ම වෙනත් කටයුතු සඳහා යන පුද්ගලයන්ට කිසිදු විහාරස්ථානයක නවාතැන් පහසුකම් ලබාදීමට තහනම් බවද ඒ මහතා කීය. මෙකී තීරණ සම්බන්ධයෙන් ඉදිරි දිනකදි මහ නායක හිමිපාණන් වහන්සේ ආරක්‍ෂක කවුන්සලය දැනුවත් කිරීමට පියවර ගන්නා බවද මෙවර වෙසක් උත්සවය දේශපාලකයන්ට අවශ්‍ය ආකාරයට සිදු නොකරන බවද ආරක්ෂක අංශවල උපදෙස් වලට අනුව තමා එකී කටයුතු සිදු කරන බවද කිසියම් සිද්ධියක් වුවොත් එහි වගකීම තමාට භාර ගැනීමට සිදුවන නිසා තමා එසේ ක්‍රියා කරන බවද ඒ මහතා කීය. එහිදි  ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් බුද්ධ ශාසන ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙවර වෙසක් මංගල්‍යයේදි ප්‍රතිපත්තිවලට මුල්තාන දෙන බවය. මෙවර රාජ්‍ය වෙසක් උත්සවයද ආරක්ෂක අංශවල උපදෙස් අනුව ඉතාමත් චාම්ව සිදු කරන බවද ඒ මහතා කීය.

-කුමුදු උපුල් ශාන්ත-