පොළොන්නරුව වැලිකන්ද ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා දිනපතා බීමත්ව පාසලට පැමිණෙන බවට චෝදනා කරමින් මවුපියෝ පිරිසක් ඉකුත් සිකුරාදා (5) පාසල ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

මේ අතර එම විදුහල්පතිරයා සහ අවට පාසලක ගුරුවරයෙකු අතර ඉකුත්දා ඇති වූ ගුටිබැට හුවමාරුවකින් පසුව දෙදෙනාම තුවාල ලැබූ අතර වැලිකන්ද පොලිසියේ මැදිහත් වීමෙන් ඔවුන් රෝහල් ගත කෙරිණ.  මෙම ගුටිබැට හුවමාරුව පාසල තුළදීම සිදු වී තිබෙන අතර ගුරු නිවාසයක ගැටලුවක් දුරදිගයාමෙන් මෙම ගුටිබැට හුවමාරුව සිදුවී ඇති බව ද පැවසේ.

මේ අතර වැලිකන්ද ප්‍රාථමිකයේ විදුහල්පතිවරයා දිනපතාම බීමත්ව පාසලට පැමිණෙන අතර දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට ඒ නිසා බාධා පැමිණ තිබෙන බව ද ඔහුට එරෙහිව සිකුරාදා පැවැති විරෝධතාවයේ දී දෙමාපියෝ චෝදනා කළහ.

විදුහල්බිමේ වැසිකිළියක දමා තිබූ හිස් අරක්කු බෝතල් තොගයක් ද උත්ඝෝෂකයන් විසින් ගොඩ ගන්නා ලදී. පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සිසුහු 9ක් මෙම පාසලේ ඉගෙනුම ලබති.


මේ සම්බන්ධයෙන් වැලිකන්ද කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.ආර්.ඒ.එල්. සුමිත් රණසිංහ මහතාගෙන් කළ විමසීමක දී ඔහු මෙසේ කීය.

විදුහල්පතිවරයා සම්බන්ධයෙන් මීට පෙරද පෙර වැරැදි ගණනාවක් ඇති බැවින් මීට සබ්බන්ධ සියලු පිරිස් විහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කිරිමට කටයුතු කරනවා.  වැලිකන්ද ප්‍රාදේශීය සභා මන්ත්‍රී නුවන් සමරසිංහ මහතා කියා සිටියේ අහිංසක දරුවන්ගේ අනාගතය අඳුරු නොකර මෙම පාසලට හොඳ ගුරුවරුන් ලබා දීමට කටයුතු කරන්නැයි බලධාරීන්ගේ අවධානයට යොමු කරන බවය.

වැලිකන්ද පොලිසිය ප්‍රදේශයේ ආරක්ෂාව තරකර තිබුණි.


(පොලොන්නරුව ත.ග. කරුණාරත්න සහ දිඹුලාගල ජේ.ඒ. ජයකොඩි)