කුල ප්‍රශ්නයක් මත වවුනියාවේ ගම්මාන දෙකක් අතර ඇති වී තිබෙන කලහකාරී තත්ත්වය විසදා ගැනීමට
ඕමන්ත පොලිසිය මැදිහත් නොවීම නිසා පොලිසියට එරෙහිව ගම්වැසියෝ විරෝධතාවක් දියත් කළහ. 

වවුනියාවේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරියට පැමිණි ගම්වැසියෝ විරෝධතාව ආරම්භ කළ
අවස්ථාවේදී පොලිස් නිලධාරීහු විශාල පිරිසක් ඒ ස්ථානයට පැමිණ විරෝධතාකරුවන් සමඟ කරුණු සාකච්ඡා කළහ.

ඉන්පසු විරෝධතාකරුවන් වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව හමුවීමට අවස්ථාව සලසා දීම
හේතුවෙන් විරෝධතාව නතර කර දමා ඇත.

වවුනියාවේ සින්නපුදුකුලම් ගම්මානයේ වැසියෝ කියා සිටින්නේ තම ගම්මානයට යාබදව පිහිටි නොච්චිමුට්ටේ
ගම්මානයේ වැසියන් කුල
ප්‍රශ්නයක් මුල් කරගෙන කාලයක සිට විශාල ගැටුමක් ඇති කරගෙන සිටින බවයි.

පසුගිය සතියේදී මේ ගැටුම උත්සන්න වූ අවස්ථාවේදී එක් ගම්මානයක වැසියන්ගේ යතුරුපැදි දෙකකට අනෙක්
ගම්මානයේ පිරිස් ගිනි තබා විනාශ කොට  පුද්ගලයන් කීප දෙනකුට පහරදී තිබේ.

ඕමන්ත පොලිසියට එරෙහිව විරෝධය පළකිරීමට පැමිණි නොච්චිමුට්ටේ ගම්මානයේ පිරිස කියා සිටියේ මේ
සිද්ධියට විශාල පිරිසක් සම්බන්ධ නමුත් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ එක් අයකු පමණක් බවයි.

සින්නකුලම ගම්මානයේ අයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම නිසා උරණවී සිටින එම ගම්මානයේ පිරිස් නොච්චිමුට්ටේ ගම්මානයේ පිරිසට තර්ජනය කරන බවත් පාරේ ගමන්කරන ළමයින්ට අඩන්තේට්ටම් කරන බවත් ගම්වැසියෝ කියා සිටිති.

මේ තත්ත්වය සමථයකට පත් කිරීම ඉතා ඉක්මනින් සිදු නොවුවහොත් ගම් දෙකෙන් එක් අයකු හෝ කීප දෙනකු
මරණයට පත් විය හැකි තරමට මේ කුල ප්‍රශ්නය උග්‍ර වී ඇතැයි නොච්චිමුට්ටේ  ගම්මානයේ වැසියෝ
කියා සිටිති. මේ ප්‍රශ්නය  වහාම විසඳීමට පියවර ගන්නා බවට වන්නි දිසාව භාර නියෝජ්‍ය
පොලිස්පතිවරයා ගම්වැසියන්ට පොරොන්දු වී තිබේ.

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ