මුදල් පසුම්බියක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු පානදුර දකුණ පොලිසියේ
උඩුමහලේ වසා තිබූ ජනේල වීදුරුවක් බිඳ පිටතට පැන පලායෑමට කළ උත්සාහයක් දැඩි පරිශ්‍රමයක් දරා
ව්‍යර්ථ කිරීමට පානදුර දකුණ පොලිසියේ නිලධාරීහු සමත්වූහ.

තුවාල ලද සැකකාර පුද්ගලයා පොලිස් ආරක්ෂාව යටතේ පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මීට දින දෙකකට ඉහතදී පානදුර බස් නැවතුම්පොළේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස්
කොස්තාපල්වරයකු සන්තකයේ තිබූ රුපියල් එකොළොස් දහස් පන්සියයක් අඩංගු මුදල් පසුම්බිය, රාජකාරි
හැඳුනුම්පත,
ජාතික හැඳුනුම්පත සහ ණයවර කාඩ්පත් කිහිපයක් මෙම පුද්ගලයා සොරා ගෙන තිබූ බව
පොලිසිය කියයි.

පානදුර පින්වත්ත ලෙස්ලි ගුණවර්ධන මාවතේ පදිංචි පානදුර බස් නැවතුම්පොළ් වතුර බෝතල් අලෙවි කරන
පුද්ගලයකු එම මුදල් පසුම්බිය සොරාගත් පුද්ගලයා බවට පානදුර පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති
ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මහතාට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න
කරමින් සිටියදී උඩුමහලේ වීදුරු ජනේලයෙන් පිටතට පැන පලායෑමට උත්සාහ කළ බව පොලිස් නිලධාරියකු
පැවැසීය.

උඩු මහලින් පහතට පැන ප්‍රධාන මාර්ගයට දිව යෑමට සැකකරු උත්සාහ කිරීමේදී ප්‍රධාන ගේට්ටුවේ
රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයා සැකකරු අල්ලා ගෙන සිටියදීත් ඔහු සමඟ තවත් මීටර් කිහිපයක්
සැකකරු ඉදිරියට දිවගිය බව සිද්ධිය ඇසින් දුටුවන් පැවැසීය.

උඩුමහලින් පහතට පැනීමෙන් සැකකරුගේ අතකට බරපතළ තුවාල සිදු වී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පානදුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන, සහකාර පොලිස් අධිකාරි අශෝක
වීරක්කොඩි මහත්වරුන්ගේ උපදෙස් මත පානදුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා,
රථවාහන අංශයේ  ස්ථානාධිපති ප්‍රධාන  පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර, උපපොලිස් පරීක්ෂක රෝහණ ද
සිල්වා මහත්වරු පරීක්ෂණ පවත්වති.

කොළඹ - එම්.සී. පෙරේරා