සායට යටින් විශේෂිත පැසක් වැනි තවත්  ඇඳුමක් ඇඳ සුපිරි වෙළඳසල්වලින් ශක්ති ජනක කිරිපිටි ටින් සොරකම් කරන කාන්තාවන් දෙදෙනා සහ දස හැවිරිදි දරුවකු පෙරේදා (10) වතුගෙදර ප‍්‍රදේශයේ සුපිරි
වෙළඳසලකින් ටින් හයක් සොරකම් කරද්දී සැකපිට අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය කියයි.

සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනකු එකම  පවුලේ මව හා පුතු වන අතර අනෙක් කාන්තාව අසල්වාසියකු බවද පොලිසිය කියයි.  ඔවුන් පානදුරේ පදිංචිකරුවෝ වෙති.


මේ සුපිරි වෙළඳසලට ගෙනෙන සස්ටජන් ටින් තොග ඉක්මනින් අවසන් වනයුරු දැක  හිමිකරු වෙළඳසලේ සීසීටීවි පද්ධතිය පරික්ෂා කිරීමේදී සැකකාර කාන්තාවන් දෙදෙනා හා කුඩා දරුවා කිරිපිටි ටින් සොරකම් කරන අයුරු දැක ඇති අතර ඔවුන් යළිත් මේ වෙළෙඳසැලට පැමිණ සස්ටජන් ටින් හොරකම් කරද්දී වෙළඳසැල් හිමියන් දැක තිබේ.

ඒ බව දැන්වීමෙන් අනතුරුව ඔවුන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මේ සැකකාර කාන්තාවන් දෙදෙනා සිය සායවල යටින් එකවර කිරි ටින් හයක් දැමිය හැකි පැසක් වැනි ඇඳුමක් ඇඳගෙන එන බවත් තමන් සමග පැමිණෙන කුඩා දරුවාගේ ඔත්තුව මත සාය උස්සා සොරකම් කරන ලද කිරිපිටි ටින් පැසට දමා ගන්නා බවත් පොලිසිය කියයි. සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් සුපිරි වෙළඳසල්වලින් කිරිපිටි ටින් සොරකම් කර ඇති බව අනාවරණය වූ බවද පොලිසිය කියයි.


එම්. සුසිල් ප්‍රියන්ත