පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් පිරිසක් ගමන්ගත් කැබ් රථයක් සියඹලාණ්ඩුව පොලිස් වසමේ ඉඳිගල්ල මංසන්දිය අසලදී පෙරේදා (30දා) රාත්‍රියේ අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පොලිස් විශේෂ
කාර්ය බළකායේ නිලධාරින් 10ක්
තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ අම්පාර කලවංචිකුඩි පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අයත් ජීප් රථයකි. බණ්ඩාරවෙල පෙරහෙට්ටිය ප්‍රදේශයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකට ආරක්ෂාව සැපයීම සඳහා විශේෂ රාජකාරියකට ගොස් නැවත කලවංචිකුඩි කඳවුරට යමින් සිටියදි මෙසේ අනතුරට ලක්ව තිබේ.

අනතුරට හේතුව කැබ් රථයේ කාර්මික දෝෂයක් බව මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරන සියඹලාණ්ඩුව පොලිසියේ ප්‍රකාශකයෝ පැවැසිය. තුවාල ලැබූවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. කැබ් රථයේ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොනරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල, සහකාර පොලිස් අධිකාරි කමල් කිරිඇල්ල යන මහත්වරුන්ගේ උපදෙස් මත සියඹලාණ්ඩුවේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකෙරේ.

-සංජීව බණ්ඩාර-