ලයිකා මොබයිල් ආයතනය වෙත ශ්‍රිලංකන් ගුවන් සේවය විකුණා දැමීම සඳහා වු කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට යන බැව් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජේපතිරත්න මහතා ප්‍රකාශ කරයි.

 ඒ මහතා එසේ පැවසුවේ ඊයේ කටුනායක ගුවන්තොටුපොළ  ඉදිරිපිට ඉමිපීරියල් හෝටලයේ පැවැති මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා පැවැති ප්‍රවන්ති සාකච්ඡාවකදීය.

මේ සඳහා මූලික පියවරක් ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවයේ පවතින විවිධ දෙපාර්තමේන්තු අතරින් වඩාත්ම ලාභදායී දෙපාර්තමේන්තු දෙක වන ශ්‍රී ලංකා කේටරින් සහ සේවා අංශය ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ඉවත් කර ඒවා ''ලයිකා මොබයිල්" ආයතනයට විකුණා දැමීමට පිඹුරුපත් දැනට සකසා ඇති බවත් මේ නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිකම්ම ඇද වැටී බංකොළොත් වන බවත් සභාපතිවරයා පැවැසීය

මේ වනවිට ''ලයිකා මොබයිල්'' ආයතනයද දැනට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සිටින වඩාත් අත්දැකීම් සහිත ගුවන් සේවා නිලධාරින් පිරිසක්ද තම ඉදිරී සේවා කටයුතු සඳහා බඳවා ගෙන ඇති බවද හෙළිදරව් කළේය.  මෙම ගනුදෙනුව පිටුපස 1998දී ශ්‍රීලන්කන්
ගුවන් සේවය එමිරේට්ස් සමාගමට විකුණා දැමීම සඳහා මුල් වූ රටේ උසස්ම් තනතුරක් දැරූ කාන්තාවක්ද, වත්මන් මුදල් අමාත්‍යංශයේ උපදේශකවරයකුද සිටින බව සභාපතිවරයා අනාවරණය කළේය.

වර්තමාන රජය ශ්‍රීලංකන් ගුවන් සේවය රැක ගැනීම සහ දියුණු කිරීම සඳහා කිසිවක් නොකළ බවත් ඒ වෙනුවට පසුගිය රජයේ ක්‍රියාකලාපය විවේචනය කරමින් සිටීම පමණක් සිදුකළ බවත් පැවැසීය. මේ නිසා පසුගිය වසර 10ක කාලය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය ලැබු අලාභය රුපියල් බිලියන 85ක් බවත් එහෙත් වත්මන් රජය යටතේ පසුගිය වසර 4ක අලාභය රුපියල් බිලියන 100ක් බවත් පැවැසීය.

මෙවැනි විශාල අලාභයක් ලැබීමට ප්‍රධාන වශයෙන් කරුණු 03ක් හේතු වූ බවත් පළමු වැන්න පසුගිය වසර 4ක කාලය තුළ අමාත්‍යංශ 04ක් යටතේ හා අමාත්‍යවරුන් 08 දෙනකුට යටත් විධායක නිලධාරින් 04ක් සහ සභාපතිවරුන් 03ක් යටතේ ආයතනය පාලනය කිරීමට සලස්වා තිබීම බවද පෙන්වා දුන්නේය.

දෙවැනි කරුණ වන්නේ පසුගිය රජය සමයේ ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහා මිලදී ගැනීමට සැලසුම් කළ පුළුල් බඳු සහිත නවීනතම ඒ. 350 එයාර් බස් ගුවන් යානා ගනුදෙනුව අහෝසි කිරීම තුළින් පැරැණි ගුවන් යානා ගුවන් සේවයට එක් වූ අතර ප්‍රංශයේ එයාර් බස් සමාගමට වන්දි මුදල් ගෙවීමට සිදුවීම බවත් පැවසීය.

 මීට අමතරව මේ තත්වයන් නිසා ඒ.330 එයාර් බස් ගුවන් යානා දෙකක් සේවයේ නොයොදවා අතිරික්තව පවතින අතර එම ගුවන් යානා සඳහාද ලීසිං වාරික ගෙවීමට සිදුවී ඇත.

එමෙන්ම පැරීස්,රෝමය වැනි දිගුදුර ගමනාන්ත සඳහා පවත්වාගෙන ගිය ගුවන් ගමන් සේවා අහෝසි කර දැමු අතර ඒ මඟින් ශ්‍රීලන්කන් ගුවන් සේවයට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයටද 50%ක සංචාරකයන්ගේ පැමිණීමේ අඩු වීමක් වාර්තා වන බවද පැවැසීය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කේටරින් ආයතනයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති අනිල් ප්‍රසන්න ජයසිංහ මහතා,

ශ්‍රී ලන්කන් කේටරින් ආයතනය ශ්‍රී ලංකා ආර්ථිකයේ  මර්මස්ථානයක් බවත් එය දේශීය සහ විදේශීය ගුවන් සේවා  සමාගම් වෙත ආහාර පාන සපයන ශ්‍රී ලංකාවේ පවතින එකම  සමාගම් බවත් පැවැසීය. ශ්‍රීලංකන් ගුවන් සේවය බංකොළොත් කිරිම සඳහා මෙතෙක් ශ්‍රී ලංකාව පාලනය කළ සියලුම දේශපාලනඥයන් සහ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සිටි ඉහළ කළමනාකරුවන් වගකිව යුතු බවත් පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් හසන්ත යසරත්න මහතා,

ශ්‍රීලංකන් ගුවන් සේවය මෙසේ ඉදිරී සතියේදී රජය විසින්  ''ලයිකා මොබයිල්'' ආයතනය වෙත විකිණීමට තැත් කළහොත්  ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර දොරටුව එනම් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසා දැමීමට පසුබට නොවන බව පැවැසීය.

මේ සඳහා තමන් සමඟ ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ ශ්‍රීලක්කන් ගුවන් සේවයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරීයේ සියලු වෘත්තීය සමිතිවලට අනුයුක්ත සේවකයන් 8,000ක් දෙනාද ඉදිරීපත් වන බවත් පැවැසීය.


 -ගයා තිරිමාදුර-