රත්නපුර පල්ලිය පාර ප්‍රදේශයේ  වෙළෙඳසලකට අයුතු ලෙස ඇතුළුවී එහි  සේවිකාවන් දෙදෙනකුට රහස් අවයව  පෙන්වමින් අසභ්‍ය ලෙස හැසිරුනේ යැයි කියන සිදුවීමකට අදාළව රිමාන්ඩ් භාරයේ  සිටි සැකකරුවකු මේ මස 08 වැනිදා දක්වා  තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා රෝෂිණී පෙරේරා  මහත්මිය නියම කළාය.

මෙසේ තවදුරටත් රිමාන්ඩ් බාරයට 
පත්වූයේ රත්නපුර ශ්‍රීපාද මාවත පදිංචි මොහොමඩ් සත්කාර් මොහොමඩ් නැමැති  පුද්ගලයෙකි.  මේ සම්බන්ධව රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උපාලි මිණිපුර මහතාගේ උපදෙස් මත පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේදි කරුණු දැක්වීම පොලිස් සැරයන් (42626) ප්‍රදිප් සේනානායක මහතා විසින් සිදුකළේය.

මෙම සැකකරු මින්පෙරද මෙලෙස අසභ්‍ය ලෙස හැසිරෙමින් මෙම කාන්තාව හා තරුණියට නිතරම හිරිහැරයක් වන ලෙස ක්‍රියාකළ අයකු බවද පොලිසිය අවස්ථා ගණනාවක් මෙවැනි සිදුවීම් පිළිබඳ පැමිණිලි විභාගයන්හිදී සැකකරුට අවවාද කර මුදාහැර ඇති බවද, සැකකරු සම්බන්ධව නිතරම මෙවැනි සිදුවීම් ගැන පැමිණිලි පොලිසිය වෙත ලැබෙන බවද මෙම නඩුවේදි පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ පොලිස් සැරයන් ප්‍රදීප් සේනානායක මහතා විසින් අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව මෙසේ 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. ඒ අනුව නැවත 01 දින එම නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාරය මගින් ඉදිරිපත් කළ මේ සැකකරු නැවක 08 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියම කළාය.