පොලිස් හදිසි ඇමතුම් රාජකාරීයෙහි නිරත පොලීස් සැරයන්වරයකුට හා පොලිස් කොස්තාපල්වරයකුට පහරදී රාජකාරියට බාධා කරමින් යතුරුපැදියේ යතුර පැහැර ගැනීමට උත්සාහ දැරූ රුසියානු ජාතික කාන්තාවක්
පානදුර වදුරුමුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි. සැකකාර කාන්තාව පොලිස් කොස්තාපල්වරයාගේ කනට පහරදීම හේතුවෙන් කොස්තාපල්වරයා අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමුකළ බව පොලිසිය කියයි.

සංගීත සන්දර්ශනයකින් අධික ශබ්දය නිකුත් වන බවට

පානදුර වඳුරුමුල්ල ප්‍රදේශයේ නිවෙසකින් පෙරේදා (31දා) අලුයම 12.20ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද පැමිණිල්ලක් අනුව පානදුර දකුණ පොලිසියේ 119 රාජකාරියෙහි නිරතව සිටි පොලිස් සැරයන් රණසිංහ (14247) හා පොලිස් සැරයන් සිල්වා (63620) යන නිලධාරීහු දෙදෙනා එම නිවස සොයා ගොස් එහි සිටි අඹුසැමි යුවළගෙන් ඒ පිළිබඳව විමසා ඇතැයි පොලිසිය කියයි. ඒ වන විට අධික ලෙස මත්පැන් පානය කර සිටි කාන්තාව පොලිස් කොස්තාපල්වරයාට පහරදී ඔවුන් පැමිණි යතුරුපැදියෙහි යතුර උදුරා ගැනීමට තැත් කිරීමේදී එය වැළැක්වීමට උත්සාහ දැරූ සැරයත්වරයාගේ නිල ඇඳුමින් ඇද පොරබදා ඇති බව පොලිස් නිලධාරීයෙක් පැවැසීය.

දැඩි ආයාසයක් දරා සැකකාරියගේන් බේරි පොලීසිය වෙත පැමිණි නිලධාරීන් දෙදෙනා ඒ පිළි බඳව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තුෂාර ද සිල්වා මහතා ඇතුළු උසස් නිලධාරීන්ට ඒ බව දැනුම් දී ඇතැයි පොලිසිය කියයි. ඒ අතරතුර සැකකාරියද පානදුර මූලික රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණියද ඇයට කිසිදු ශාරීරික පීඩාවක් නොමැති බවට පරික්ෂා කරන ලද වෛද්‍යවරුන් පැවැසූ පසු නැවත නිවෙස කරා  ගොස් තිබූ බව පොලිසිය කියයි. වඳුරුමුල්ල නිවසේදී අත්අඩංගුවට ගත් 33 හැවිරිදි රුසියානු ජාතික කාන්තාව පොලිස් නිලධාරීන් දෙදෙනාට අතින් පයින් පහරදීම, සාපරාධී බලහත්කාරය හා රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ පානදුර මහස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

-එම්.සී.පෙරේරා-