නුගේගොඩ චැපල් මාවතේ පිහිටි රෝයල් ඉන්ස්ටියුට් ජාත්‍යන්තර පාසලට අයත් සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නාගරික සංවර්ධන අධිකාරියට සහ කෝට්ටේ මහ නගර සභාවට නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ එම අයාතනය අවට පදිංචි 16 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබා දෙමිනි.

තවද නුගේගොඩ චැපල් පටුමගෙහි පිහිටා ඇති ජාත්‍යන්තර පාසල පවත්වාගෙන යැමට රෝයල් ඉන්ස්ටියුට්
ආයතනයට ලබා දී ඇති සියලු අවසර පත්‍රයන් අවලංගු කිරීමටද අධිකරණයෙන් නියෝග කෙරිණි.

ඊට අමතරව රෝයල් ඉන්ස්ටියුට් ආයතනයට අනවසර ඉදිකිරීම් වළකාලමින් අතුරු නියෝගයක්ද අධිකරණයෙන් නිකුත් කෙරිණි.
නුගේගොඩ චැපල් පාරෙහි අංක 12 දරණ ස්ථානයේ අඩි 20 ක ප්‍රමාණයක් මාර්ගය අවහිර කරමින් තට්ටු ගොඩනැගිල්ලක් නීතියට පටහැනිව ඉදිකර ඇති බව පෙත්සම්කරුවෝ කියා සිටිති.

2008 ‐ 2020 වසර නගර සභා සැලැස්ම අනුව මෙම කලාපය වෙන් කර ඇත්තේ මිශ්‍ර සංවර්ධනයට බවත් , ඒ අනුව අධ්‍යාපන ආයතන ඉදි කිරීම නීතියට පටහැනි බවත් මෙම සමස්ථ ක්‍රියාවලිය තුළින් පෙත්සම්කරුවන් අපහසුතාවයට පත්වන බවත් පෙත්සම්කරුවෝ තියා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ නවීන් මාරපන මහතා සමඟ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා පෙනී සිටියේය.
වගඋත්තරකාර ජාත්‍යන්තර පාසල වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන ෆයිස් මුස්තාපා සහ මනෝහාර ද සිල්වා මහතා පෙනී සිටියහ.