ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ 100 වැනි ජන්ම දිනය යෙදෙන අද (05දා) දිනය ''ජාතික සිනමා දිනය'' ලෙස ප්‍රකාශයට පත් කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සෑම වසරකම අප්‍රේල් මස 05 වැනිදා ජාතික සිනමා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 ඒ අනුව පළමුවැනි ''ජාතික සිනමා දිනය'' ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී අද (05) උදෑසන අතිඋත්කර්ෂවත්
අයුරින් සැමට සියලු කටයුතු සුදානම් කර තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.


බත්තරමුල්ල, සෙත්සිරිපාය පිහිටි නිවාස, ඉදිකීරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (04දා) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා දේශීය සිනමාව වෙනුවෙන් සිදුකළ අමිල සේවාව අගයමින් එයට කෘතගුණ සැලකීමක් ලෙස කොළඹ පිහිටි ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී රුපියල් ලක්ෂ 150ක් වැය කරමින් එතුමන්ගේ නමින් කෞතුකාගාරයක් සහ පුස්තකාලයක් අද (05දා)  ස්ථාපිත කරන බවද අමාත්‍යවරයා පැවසීය.

 වත්මන් උදා ගම්මාන වැඩසටහන යටත් ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ නමින් උදා ගම්මානයක් මේ වනවිටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිවෙමින් පවතින බවත්, දිවයිනේ අනෙක් දිස්ත්‍රික්ක 24 තුළද මෙතුමගේ නමින් තවත් උදා ගමිමාන 24ක් ඉදිකිරීම් ආරම්භ කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේය.
-අමින් මධුරංග-