අලුත උපන් බිලිඳෙකු මීට වසර දෙකකට පමණ පෙර පානදුර නගරයේ අතුරු මාර්ගයක නිවසක් ඉදිරිපිට දමා ගිය. බව කියන සුරූපී රූපලාවන්‍ය ශිල්පිනියක හා ඊට අනුබල දුන් බව කියන ඇගේ මව සැකපිට අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.
ලේ තැවරුණු සැකකටයුතු කළු පැහැති කවරයක් තම නිවය ඉදිරිපිට ඇති බවට එම ප්‍රදේශයේ නිවැසියකුගෙන් පානදුර දකුණ පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ නිරික්ෂණයේ දි රෙදි කැබලි කීපයක ඔතා සිටි බිලිඳා පොලිසිය විසින් 2017 මාර්තු 9 වැනිදා යොයාගනු ලැබීය.

අනතුරුව එම
දරුවා පානදුර කේතුමතී කාන්තා රෝහලට ඇතුළු කළ අතර මාස කීපයක් එම රෝහලේ හෙදියගේ බාරයේ සිටියදී පානදුර අධිකරණ නියෝගයකට අනුව එම බිලිඳා ළමා නිවාසයකට යොමු කෙරිණ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවිධ පැති ඔස්සේ පරික්ෂණ කළ පානදුර දකුණ පොලිසියේ ඔත්තුකරුවන් මාර්ගයෙන් ද තොරතුරු රැස් කළේය. ඒ අනුව බිලිඳා හමුවූ දිනට පෙරදින රාත්‍රී නවයට පමණ කාත්තාවක කළු පැහැති බෑගයක් රැගෙන එම මාර්ගයේ ගමන් ගන්නා අයුරු සහ ඊට විනාඩි කීපයකට පසු අතේ කිසිවක් නොමැතිව කඩිමුඩියේ යන අයුරු ඒ අසල වෙළෙඳසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්වී තිබිණි.


කෙසේ වුවද එම දර්ශනයට අනුව ඇය කවුරුන්ද කුමන ප්‍රදේශයකද ගැන හඳුනාගැනීමට නොහැකි විණි.  මේ අතර කළුතර පොලිස්  ස්ථානාධිපතිවරයාට පෙරේදා (8) ලැබුණු නිර්නාමික තොරතුරක් මත පානදුර වඳුරාමුල්ලේ නිවසක් වැටලු පොලිසිය සිද්ධියට සම්බන්ධ බවට සැකකරන අවිවාහක  තරුණියක සහ ඇගේ මව සැකපිට අත්අඩංගුට ගෙන ඇත.

පානදුර ප්‍රදේශයේ පුද්ගලයකු සමග ඇති කරගත් සමීප සම්බන්ධතාවක ප්‍රතිඵලයක් ලෙස මෙම දරුවා පානදුර නිවසේදි 2017 මාර්තු 9 වැනිදා බිහිකළ බවිට මූලික පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය පවසයි. ඒ සම්බන්ධයෙන් විදේශ රටක සිටි තම මවට දුරකතනයෙන් දැනුම් දී ඇති බව ද පොලිසිය කියයි.

ඒ අනුව මෙම අපරාධය කළ රූපලාවන්‍ය ශිල්පිනිය සහ ඊට අනුබලදීමේ චෝදනාව මත ඇගේ මව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරියන් දෙදෙනා පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. .

- බිමල් ශ්‍යාමන් ජයසිංහ -