රට තුළ අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම සඳහා එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමිර් සහ හොංකොං යන රටවල සමාගම් තුනකින් මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් මාස 6ක කාල සීමාවක් සඳහා මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවක් මිලදී ගැනීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණි.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රදසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පල්ලෙකැලේ ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 24 ක විදුලි ධාරිතාවක් සහ ගාල්ල ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 10 ක
විදුලි ධාරිතාවක් කිලෝවොට් එකක් රුපියල් 30 යි ශත 20 ක මුදලකට සැපයීමේ කොන්ත්‍රාත්තුව එක්සත් රාජධානියේ ඇග්‍රිකෝ ඉන්ටර්නැෂනල් ප්‍රොජෙක්ට් ලිමිටඩ් වෙත ලබාදීමට නියමිතය.

මහියංගනය ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 10ක් විදුලි ධාරිතාවක් කිලෝවොට් එකක් රුපියල් 30 යි ශත 58ක මුදලකට හා පොළොන්නරුව ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 8ක විදුලි ධාරිතාවක් කිලෝවොට් එකක් රුපියල් 30යි ශත 63ක මුදලකට සැපයීමේ කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඇල්ටාකා ඇල්ටර්රේටිව් සොලියුෂන් ග්ලෝබල් සමාගම වෙත ලබාදීමට නියමිත බව සඳහන්ය.

හම්බන්තොට ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 24ක විදුලි ධාරිතාවක් කිලෝවොට් එකක් රුපියල් 28යි ශත 43ක මුදලකට හා හොරණ ග්‍රිඩ් උපපොළ සඳහා මෙගාවොට් 24ක විදුලි ධාරිතාවක් කිලෝවොට් එකක් රුපියල් 27යි ශත 70ක මුදලකට සැපයීමේ කොන්ත්‍රාත්තුව හොංකොං හි වී පවර් හෝල්ඩින්ග්ස් සමාගම වෙත මාස 6ක කාලයක් සඳහා ලබාදීමට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත.