වරකාපොළ පොලිස් වසමේ ගලපිටමඩ පහළ අඹතැන්නේ පෙර පාසල් දැරියක් සිමෙන්ති ගඩොල් බිත්තියකට යටවී මියගොස් ඇතැයි වරකාපොළ පොලිසිය කියයි. මෙලස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වරකාපොළ, ගලපිටමඩ, ඒබිඩිගල, පහළ අඹතැන්න පදිංචි සිටි ගල්මුල්ලේ ගමරාලලාගේ සසදී ගිහංසා දෙව්මිණි නමැති වයස අවුරුදු තුනහමාරක පෙර පාසල් සිගිත්තියකි. මෙම දැරියගේ පියා වන චන්දන තුසිත් කුමාර (29)
ගුවන්හමුදා සෙබළකු වන අතර ඔහු ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ සේවය කරමින් සිටීයි. මෙම දැරිය 25 හැවිරිදි මව සමඟ ඒබිඩිගල නිවසේ පදිංචිව සිටින අතර දැරියගේ පියා මාස එකහමාරකට පමණ පසුව නිවාඩු ලබා නිවෙසට
පැමිණෙන බවද දැරිය ඒබිඩිගල සිත්තරු පෙර පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි
පොලිසිය කියයි.

ඉකුත් අප්‍රේල් 11දා ඇ ගේ පියා සිංහල හා හින්දු අලුත් අවුරුද්දට නිවාඩු ලබා නිවෙසට පැමිණ තිබුණු අතර පසුව අප්‍රේල් 13දා දැරියයි මවයි පියාට අයත් ත්‍රිරෝද රථයෙන් පියාගේ පියා  (සීයා) හා ඥාතීන් පදිංචිව සිටින වරකාපොළ රබ්ඩිගල නිවෙස වෙත ගොස් තිබුණි. එම නිවෙස අලුතින් ඉදිකරමින් පැවැති අතර එම නිවසේ ජනේලයකට ඉටි කොළයක් පියා විසින් නිවසේ ඉදිරිපිට ගසමින් අවස්ථාවේදී සිමෙන්ති ගඩොල් බිත්තිය එකපාරට නිවෙස ඇතුළු පැත්තට ගැලවී වැටී ඇත. එම බිත්තියකට යටවී පෙරපාසල් දැරිය බරපතළ තුවාල ලබා වරකාපොළ මුලීක රෝහලට ඇතුළත් කර තිබුණි.

එහිදී තුවාල ලැබූ දැරිය පරීක්ෂා කර බැලූ වෛද්‍යවරු මවුපියන් හට ප්‍රකාශ කර ඇත්තේ දැරිය මියගොස් ඇති බවයි. පසුව මියගිය දැරීයගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඩී.එස්. මදරසිංහ මහතා විසින් සිදුකළ අතර බිත්තියක් කඩා වැටී  හිසට සිදුව තිබුණු බරපතළ තුවාල හේතුවෙන් දැරියගේ මරණ සිදුව ඇති බව වරකාපොල හදිසි මරණ පරීක්ෂක විමලසිරි රාජපක්ෂ මහතා නිගමනය කර තිබුණි.

-චමින්ද ජයලත්-