මීතොටමුල්ල කුණු කන්දට කසළ බැහැර කිරීම සඳහා කොළඹ මහ නගර සභාව විසින් වියදම් කළ මුදල් සම්බන්ධයෙන් යම් සැක සහිත ගනුදෙනු සිදුවී තිබෙන බවට අනුමාන කළ හැකි කරුණු ගණනාවක් රජයේ විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාවකින් අනාවරණය වෙයි. මෙම කැළිකසළ බැහැර කිරීම
සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා නිකුත්කරන ලද විශේෂි වාර්තාවක මිට අදාළ කරුණු ඇතුළත් වී තිබේ. වසර 4ක කාලයක් සඳහා මීතොටමුල්ලට කැළි කසළ එකතුකර බැහැර කිරීම සහ මීතොටමුල්ල කසළ කන්ද මට්ටම් කිරිම සඳහා කොළඹ මහ නගර සභාව පෞද්ගලික ආයතන දෙකක් සමඟ ගිවිසුම් ගතවී තිබේ.

මේ සඳහා අදාළ සමාගම් දෙක වෙත ලබාදෙන මුදල රුපියල් බිලියන 5 1/2කි. (ආසන්න වශයෙන් රුපියල් කෝටි පන්සිය තිස්හතර අනු ලක්ෂයකි.) මෙය කොළඹ මහනගර සභාවේ මිල ගණන්වලට වඩා 8% සිට 56% දක්වා වැඩිවීමකි. මෙම සමාගම් දෙක සහ තවත්
සමාගම් කිහිපයක් සතුටුදායක මිල ගණන් ඉදිරිපත් කර තිබුණද ඒවා ඇගයීම සඳහා සුදුසුකම් නොලබන ඒවා වශයෙන් එම ආයතන හඳුන්වා දී ඇත. මෙම ලංසු විවෘතව කැඳවිම සඳහා ලංසු කමිටුවක්ද පත්කර නොමැති අතර ලංසු කැඳවීම විවෘතව සිදුකර නොමැති බවද රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් වේ.

කසළ බැහැර කිරීම සඳහා කොළඹ මහ නගර සභාවට ප්‍රතිපාදන වෙන්කර තිබුණද වාහන මිලදී ගැනීමට වඩා එම මුදල් වාහන කුලියට ගැනීම වෙනුවෙන් වියදම් කර ඇති බවද මෙම විගණකාධිපති වාර්තාවෙන් පැහැදිලි වේ. උදාහරණයක් ලෙස 2016 වර්ෂයේදි වාහන මිලදී ගැනීම් වෙනුවෙන් රුපියල් කෝටි 26කට අධික මුදලක් වෙන්කර තිබුණද රථ වාහන මිලදී ගැනීම වෙනුවෙන් වියදම් කර තිබෙන්නේ රුපියල් හයලක්ෂ පනස් අට දහසක් පමණි. (රු. 6,58,000)

2016 වසරේ කැළිකසළ බැහැර කිරීම සඳහා කුලී පදනම මත ලබාගත් රථ වාහන වෙනුවෙන් කොළඹ මහ නගර සභාව මඟින් වියදම් කර ඇති මුදල රුපියල් කෝටි 23කට අධික වේ. කුලී පදනම මත ලබාගත් වාහන වෙනුවෙන් සිදුකරනු ලබන ගෙවීම්වල වැඩිවීමද ඉතා ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. 2010 වර්ශයේදි එම වැඩිවීම 9.71 ක්වූ අතර 2016 වර්ෂයේදි කුලී පදනම මත ලබාගන්නා වාහන වෙනුවෙන් ගෙවීම්වල වැඩිවීම 462.9%ක් වි තිබිම කැපී පෙනේ. තවද ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් දේශීය හා විදේශීය සම්මන්ත්‍රණවලට සහභාගි වී ලබාගත් පුළුල් දැනුමක් ඇති නිලධාරිනියක් ඝන අපද්‍රව්‍ය අංශයේ ඉන්ජින්නේරුවරියකව සිට එම අංශයේ අධ්‍යක්ෂ තනතුර දක්වාම උසස් වීම් ලබාගෙන ඇති බවද විගණකාධිපති වාර්තාව අනාවරණය කර තිබේ.

කසළ අපහරණය, ප්ලාටික් අපද්‍රව්‍ය කළමනාකරණය, කසළ ශුන්‍ය කිරීම හෝ කසළ බලශක්තිය නැංවීම යන අංශයන් සම්බන්ධයෙන් ඇයට මනා දැනුමක් තිබුණ ඒ විෂයයන් කිසිවක් සම්බන්ධයෙන් ඇයගේ දැනුම භාවිතයට ගෙන නොමැති බවද විගණකාධිපති වාර්තාවේ සඳහන්ව ඇත.

-ඩබ්ලිව්.කේ.ප්‍රසාද් මංජු-