පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ සගයන් දෙදෙනකු ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී එය ආවරණය කිරීමට එහි ගොස් සිටි රූපවාහිනි මාධ්‍යවේදියකුගේ කැමරාවට පහරදී හානි
සිදුකළ ඔවුන්ගේ සහචරයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊයේ (4දා) උදෑසන මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ අතර මාධ්‍යවේදීන් එවලේ සිටම ගුවන් තොටුපොළ තුළ රැදෙමින් මෙම කරුණු වාර්තා කිරීමට සුදානම් වී සිටියහ.

 එහිදී මොහොමඩ් සිද්ධීක්, මොහොමඩ් සියාම් නමැත්තා ඊයේ (4දා) අලුයම 12.1ට පමණ නිදහස් කර තිබු අතර එම සිදුවීම ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සිට වාර්තා කිරීමට සූදානම් වූ මාධ්‍යවේදීන්ට, මොහොමඩ් සිද්ධීක් වට කර ගනිමින් විවිධ බාධාවන්  සිදුකළ අතර මෙම රපවාහිනි මාධ්‍යවේදියාගේ කැමරාවටද එහි සිටි අයකු පහරදී තිබිණි.

එයින් එම කැමරාවේ කාච කොටසට හානි  සිදුවී ඇති බව පවසමින් එම මාධ්‍යවේදියා  කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත  පෙරේදා අලුයම පැමිණිලි කර තිබේ. මීට පෙර ගායක අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා ඩුබායි සිට කටුනායක ගුවන්  තොටුපොළ වෙත පැමිණ සිටියදී එය ආචරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ටත් බාධා කරමින් කිසියම් පිරිසක් ගුවන් තොටුපොළ තුළ ක්‍රියාත්මක වී  තිබීණි.

 මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපොළ  පොලිසිය 4දා දෙපාර්ශ්වයම කැදවා විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.

පොලිසිය මේ වන විට එහි සිටි මාධ්‍යවේදීන්ගේ වීඩියෝ දර්ශන මෙන්ම ගුවන් තොටුපොළට පැමිණීමේ ස්ථානයේ සවි කර ඇති ආරක්ෂක  කැමරා දර්ශනද සිය විමර්ශන සඳහා අධ්‍යයනය කර තිබේ.