රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 තුළම හේතු හඳුනා නොගත් කාලික වකුගඩු රෝගීන් 823ක් මේ වන විට වාර්තා වී ඇති බව ඊයේ (3)  කළ විමසීමකදී රත්නපුර දිස්ත්‍රික්කයේ දිසාපති
මාලනි ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය. වැඩිම රෝගීන් ප්‍රමාණයක් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 153කි. බලංගොඩ ප්‍රදේශයෙන් රෝගීන් 111ක්, ඉඹුල්පෙන් 66ක්, ගොඩකවෙළින් 55ක්, වැලිගෙපොළින් 46ක්, කුරුවිටින් 45ක්, රත්නපුරෙන් 43ක්,කොලොන්නෙන් 41ක්,

අයගමින් 34ක්, කලාවනෙන් 33ක්, පැල්මඩුල්ලෙන් 32ක්, නිවිතිගල හා ඇහැලියගොඩක් 31ක් බැගින්, ඕපනායකින් 29ක්, කිරිඇල්ලෙන් 28ක්, කහවත්තෙන් 23ක්, ඇලපාතින් 22ක් ආදී වශයෙන් මෙම රෝගීන් වාර්තා වී තිබේ.

මෙම ප්‍රදේශවල වැඩි වශයෙන්ම අඩු ආදායම්ලාභීන් ජීවත් වන බවත් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට  සහ අවශ්‍ය ආධාර ලබා ගැනීම සඳහා අදාළ අමාත්‍යාංශ වෙත තොරතුරු ලබාදී ඇති බවත් දිසාපතිවරිය වැඩිදුරටත් පැවසුවාය. වකුගඩු රෝගීන් පිළිබදව ජනාධිපතිවරයාගේ සහ රජයේ අවධානය යොමුවීම හේතුවෙන් පසුගිය වකවානුව තුළ සැලකිය යුතු ලෙස වකුගඩු රෝගීන් වාර්තා වීම අවම විය. කෙසේ වෙතත් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන වකුගඩු රෝගීන්ට අදාළව හේතුවක් මෙතෙක් හඳුනාගෙන නොමැත.

-රසිකා හේමමාලි-