යාපනය නාවන්තුරෙයි ආසාත් මාර්ගය ආසන්නයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තෙමහල් නිවසක පොළව අභ්‍යන්තරයේ සකසා තිබූ භූගත බංකරයක් බවට සැකකළ හැකි ස්ථානයක් අද (28) සොයා ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

තෙමහල් නිවසෙහි ආරක්ෂාවට රඳවා සිටි පුද්ගලයකු ද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය විශේෂ කාර්ය බළකාය පැවසීය.


නිවස ඇතුළත රහසිගත අන්දමින් මෙම භූගත බංකරය සකසා ඇති අතර එහි දිග මීටර 25 වන බවත් උස  අඩි අටක් පමණ සහ පළල අඩි පහක් පමණ වන ලෙස
සකසා තිබූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

ආරක්ෂිත දොරක් යොදා මෙම භූගත බංකරය වසා තිබූ අතර එයට ඇතුළුවීම සඳහා පඩිපෙලක් සකසා තිබිණි.

මෙය විදුලිය බලය ලබාදී ආරක්ෂිත ලෙස සකස් කර තිබූ බවද පොලිසිය කීය.

යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව හා පොලිසිය විසින් යාපනය නාවන්තුරය ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසියකදී මෙම භූගත බංකරය සොයාගෙන තිබේ.

යාපනය පොලිසිය පැවසූයේ භූගත බංකරය සහිත තෙමහල් නිවසෙහි හිමිකරු කොළඹ ප‍්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයකු බවත් ඔවුන් මේ දිනවල නිවාසයෙන් පිටව ගොස් ඇති බවත්ය.

වසර දෙකකට පමණ ඉහතදී මෙම නිවස භූගත බංකරය සමඟ ඉදිකර ඇති බවට තොරතුරු අනාවරණය වන බවද පැවසීය.

අත්අඩංගුවටගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

යාපනය පොලිසිය සහ යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.