ජාතික තව්හීත් ජමාත් ත්‍රස්ත සංවිධානය සමඟ දීර්ඝ කාලයක් සබඳතා පැවැත්වූ බව කියන සිලෝන් තව්හීත් ජමාත් සංවිධානයේ බදුල්ල ශාඛාවේ සභාපති ලෙස කටයුතු කළ පුද්ගලයකු බදුල්ල පොලිසිය හා යුද හමුදාව ඒකාබද්ධව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු සන්තකයේ තිබූ පසුගියදා කොම්පඤ්ඤවීදියේ මුස්ලිම් දේවස්ථානයකින් හමුවූ පිහිවලට සමාන හැඩයේ පිහියක් ද පොලිසිය බාරයට ගෙන ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උසෙයින් රුසෙයිර් නැමති 42 හැවිරිදි සැකකරුවෙකි.

මොහු හෙම්මාතගම ප්‍රදේශයේ පුද්ගලයකු බවත් බදුල්ල ප්‍රදේශයේ කිරිපිටි අලෙවි නියෝජිතයකු වන ප්‍රකට ව්‍යාපාරිකයකුගේ දියණියක හා විවාහ වී මේ වනවිට බදුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු වසර 8ක පමණ කාලයක් ජාතික තව්හීත් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධ වී කටයුතු කර ඇතැයි මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර  එම සංවිධානය දෙකඩ වීමෙන් පසුව සිලෝන් තව්හීත් ජමාත් සංවිධානයේ බදුල්ල ශාඛාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.

සිලෝන් තව්හිත් ජමාත් සංවිධානය හා සම්බන්ධ බදුල්ලේ සාමාජිකයින් 50 දෙනෙකු පමණ බවට තොරතුරු ලැබී තිබෙන බවත් ඔවුන් සම්බන්ධයෙන් ද පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙන බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්යංශය,රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු ආරක්ෂක බුද්ධි අංශ තොරතුරුවලට අනුකූලව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගේ දුරකතන ඇමතුම් සම්බන්ධයෙන්ද පොලිස් විමර්ශන සිදුකෙරේ.

ඉස්ලාම් ධර්මයට පටහැනි මූලධර්ම අනුගමනය කරමින් අන්තවාදී සංවිධාන සමඟ එක්ව කටයුතු කරන පුද්ගලයින් පිළිබඳ  තොරතුරු රැසක් ඉස්ලාම් ධර්මය නිසිලෙස අනුගමනය කරන මුස්ලිම් ප්‍රජාව විසින් පොලිසිය වෙත ලබාදී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
(එෆ්. අස්ලම්)