රුපියල් එක්ලක්‍ෂ හතළිස් පන්දාහකට අලෙවි කිරීමට තිබූ යතුරුපැදියක් සඳහා ඉතා සූක්ෂමව මුද්‍රණය කළ ව්‍යාජ පන්දහසේ නෝට්ටුවලින් ගනුදෙනුවක් කර යතුරුපැදියක් රැගෙන පලාගිය පුවතක් සීදුව පොලිසියෙන්
අනාවරණය වේ.  මෙම ගනුදෙනුව සිදුවී ඇත්තේ මුහුණුපොත හරහා හොන්ඩා ඩියෝ වර්ගයේ යතුරුපැදියක් අලෙවියට තබා තිබියදීය. සීදූව රාජපක්‍ෂ පුරයේ තරුණයකු පියාගේ හිතවත් අයගේ යතුරුපැදි ගෙනැවිත් අලෙවි කිරීමේ කර්තව්‍යයක කලක සිට නිරතව සිට ඇත්තේ ඒ තම මුහුණුපොතේ ගිණුම හරහාය.

එලෙස අලෙවියට තබන යතුරුපැදිවලට මුදල් ලබා දෙන්නේ අලෙවියෙන් පසු බවට ගිවිසුමකටද දෙපාර්ශ්වය අස්සන් තබා ඇති බව පොලීසිය කියයි. ව්‍යාජ මුදල්වලට යතුරුපැදිය අහිමි කරගත් සීදූව රාජපක්‍ෂ පුරයේ පළමු පටුමගේ ඉෂාන් කවින්ද 21 වියේ පසුවන තරුණයා විසින්
තමන්ට සිදුවූ අකරතැබ්බය සීදූව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ්‍රීනික සංජීව ජයකොඩි මහතා වෙත පවසා තමන්ට ලැබී ඇති මුදල් නෝට්ටු සියල්ල ව්‍යාජ ඒවා බවට තහවුරු කරගෙන ඇත. කවින්ද තමන් රැවටීමට ලක්වූ අයුරු පොලිසියට  පවසා ඇත්තේ මෙසේය.

මෙම යතුරුපැදිය ගැන මුහුණුපොතේ පළ කර වැඩි දිනක් යෑමට මත්තෙන් හලාවත ප්‍රදේශයේ කෙනෙක් කියා සැකකරු කතා කළා. ඔහු පසුදිනම සීදූව ස්කාගාර හන්දියට බසයකින්විත් බැස මට දුරකථන ඇමැතුමක් දී එම ස්ථානයට ගෙන්වා ගත්තා. මා පැමිණියේ වංචනිකයාට අලෙවි කළ අලෙවියට තබා තිබු මගේ යතුරුපැදියෙන්මයි.  පසුව ඔහු එම ස්ථානයේදීම යතුරුපැදිය පරීක්ෂා කළා. යතුරුපැදිය මිලට ගැනීමට ඔහු එකඟ වුණා. සීදුව පෞද්ගලික බැංකුවකට ගොස් තම කාඩ්පතෙන් මුදල් ලබාගන්න අවශ්‍ය බව මට කියා ඔහු බැංකුව වෙත ගියා. එම බැංකුවේ කාඩ් දමා මුදල් ලබා ගන්නා කුටිය වෙත ගිය එම සැකකරු තම පිටුපස සාක්කුවේ ඇති පසුම්බිය අතට ගෙන කාඩ් එකකට වැඩි තරමක් ලොකු දෙයක් ගන්නවා මම දැක්කා.

පසුව මඳ වේලාවක් බැංකුවේ කාඩ් දමා මුදල් ලබා ගන්නා කුටිය අසල රැදී සිටි සැකකරු යම් දෙයක් අතේ තබාගෙන පැමිණ අලෙවිකරුගේ රාජපකෂ පුරයේ පිහිටි නිවෙසට ගොස් ගනුදෙනුව කළා.  එම මොහොතේ නිවෙසේ යතුරුපැදි අලවිකරු වන ඉෂාන්ගේ පියා සිට නැත. ඉෂාන්ට මෙම නෝට්ටු ගැන  යම් අවිශ්වාසයක් මතුවී නිවෙසේ සිටී තම මාමාගෙන්ද ඒ ගැන විමසා ඇත. ඔහුද එම නෝට්ටු නිවැරැදි නෝට්ටු බවට පවසා නිමේෂයකින් හැරි බලන විටත් සැකකරු යතුරුපැදිය රැගෙන පලාගොස් තිබේ. රුපියල් එක්ලක්ෂ හතළිස් පන්දාහක ව්‍යාජ මුදල් පොලිස් භාරයට ගෙන සැකකරුගේ ජායාරූපයක් සී.සී.ටී.වී. කැමරාවෙන් ලබාගත් පොලිසිය එය මාධ්‍ය වෙත යොමු කර තිබේ. පොලිස් භාරයට ගත් මුදල් නෝට්ටුවලද ඡායාරූපයක්ද මාධ්‍ය වෙත යොමු කර ඇත.

-සීදුවේ නිශ්ශංක-