වෛද්‍ය පීඨයකට ඇතුළත්වීම සඳහා වන අවම සුදුසුකම නැතත් ඊ.ආර්.පී.එම්. විභාගය (විදේශ වෛද්‍ය උපාධිධාරින්ගේ සුදුසුකම් පරික්ෂා කිරීමේ කඩඉම් විභාගය) සමත් වෛද්‍ය උපාධිධාරින් පිරිසකට ලියාපදිංචිය ලබාදෙන්නනේද නැද්දැයි යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින් අතර මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි වෛද්‍ය සභා ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාය හරේන්ද්‍ර සිල්වා, උප සභාපති - මහාචාර්ය නිලන්ති ද සිල්වා සහ තවත් සාමාජිකයින් පිරිසක් එම සිසුන්ට ලියාපදිංචිය ලබාදිය යුතු බව ප්‍රකාශ කරන අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලධාරීන් ද වන සාමාජිකයින් හතර දෙනෙකු ඇතුළු පිරිසක් ඊට
දැඩි විරෝධය පළකර ඇති බවද පැවසේ.  එම විදේශ වෛද්‍ය උපාධිධාරින් ලියාපදිංචි කිරීමේ යෝජනාව ඉකුත් සිකුරාදා (29) පැවැති  වෛද්‍ය සභා රැස්වීමට ඉදිරිපත් වූ අවස්ථාවේ සාමාජිකයින් අතර මත ගැටුමක් තිබූ හෙයින් ඡන්ද විමසීමක් පැවැත්වීමට සභාපතිවරයා තීරණයක් ගෙන ඇතැයි සඳහන් වේ.

 එහිදී එම විදේශ වෛද්‍ය උපාධිධාරීන් පිරිසට ලියාපදිංචිය නොදිය යුතු බවට ඡන්ද 10ක් ලැබී ඇති අතර ලියාපදිංචිය දිය යුතු  බවට ලැබි ඇත්තේ ඡන්ද 3ක් පමණි.  කෙසේ වෙතත් එම විදේශ වෛද්‍ය උපාධිධාරින්ගේ ගැටලුව මේ වන විට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අර්බුදයක් ඇතිවීමට හේතු වී ඇතැයි පැවසේ.

 මෙම වෛද්‍ය උපාධිධාරින් පිරිස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනුමත විදේශ වෛද්‍ය විද්‍යාලවල උපාධි පාඨමාලා හදාරා ඇති අතර පසුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ විදේශ වෛද්‍ය උපාධිධාරීන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරිමේ කඩඉම් විභාගයද (පි.ආර්.පී.එම්.) සමත් වී සිටිති.  කෙසේ වෙතත් මේ පිරිසට වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීම සඳහා අවශ්‍ය අවම සුදුසුකම් (උසස් පෙළ විද්‍යා විෂයධාරවෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක්) (සී. 2 එස්. 1) නොමැති බව  හෙළි වී තිබේ.

-රංජන් කස්තුරි-