දංකොටුව පොලිස් වසමට අයත් ප්‍රදේශ දෙකක 22දා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබූ අවස්ථාවේදී මුදල් ඔට්ටුවට බූරුවා ගැසූ කණ්ඩායමක් සහ ගංජා පැකට් 2ක් සහිතව මාර්ගයේ ගමන් කළ පාසල් දරුවන්
දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව
දංකොටුව පොලිසිය පවසයි. ප්‍රදේශයේ පොලිස් ඇඳිරි නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමට ගත් පියවරක් හැටියට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබූ අතර දංකොටුව පන්නල ප්‍රදේශයේ යොදවා තිබූ මාර්ග බාධකයෙන් මාරුවීමට පැමිණි 15 හැවිරිදි සිසුන් දෙදෙනකුගේ සාක්කු පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකව තිබී ග්‍රෑම් එක බැගින් වූ ගංජා පැකට් 2ක් සොයාගෙන ඇත.

එදිනම නිවෙසක මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි ගෙහිමියා ඇතුළු නව දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. පිරිස අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම ස්ථානයේ  තිබි මත්පැන් බෝතල් කීපයක්, සිගරැට් කීපයක්, බූරු කුට්ටම් කීපයක් මුදල් රුපියල් 9000කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත.

-වීහේණ අනුරාධ-