හදිසි අවශ්‍යතාවකදී ක්ෂණිකව රෝහල් වෙත යොමුකළ හැකි වෛද්‍යවරුන් දහසකගේ බළකායක් තම සංගමය යටතේ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රජයේ නිවාඩු දිනයක් වුවද,
පාස්කු ඉරිදා සිදු වූ ඛේදවාචකයේදී මෙම බළකායේ වෛද්‍යවරුන් අදාළ රෝහල් වෙත කඩිනමින් යොමු කිරීමට හැකි වූ බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

2009 වසරේ රට තුළ පැවැති ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු මෙවැනි අවාසනාවන්ත අත්දැකීමකට රටක් ලෙස මුහුණ දුන් ප්‍රථම අවස්ථාව මෙය බවද හෙතෙම පවසා සිටියේය.

උද්ගත වූ තත්වය මනා ලෙස කළමනාකරණය කිරීම සඳහා අතීත අත්දැකීම් පාදක වූ බවත්, මේ හරහා පෙර සූදානම හා හදිසි ප්‍රතිචාර දැක්වීම නිවැරදි ලෙස සිදු වූ බවත් ලේකම්වරයා සඳහන් කළේය.
මෙම නිවැරදි වැඩපිළිවෙළ හේතුවෙන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වෛද්‍යවරුන් අදාළ රෝහල් වෙත පිටත්කර හැරීමට හැකි වූ බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේය.