වැල්ලවාය නගරයේ ඇල්ල හන්දිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බද්දට ගෙන තිබූ ගොඩනැගිල්ලක සගවා තිබූ බෝම්බ නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන යකඩ බෝල කිලෝග්‍රෑම් දෙකක් සොයා ගැනීමෙන් පසුව සිදුකළ
විමර්ශනයේදී එම ව්‍යාපාරිකයාගේ නිවසට යාබද දර මඩුවක
තිබී හඳුනා නොගත් රසායනික ද්‍රව්‍ය අඩංගු බෝතල් දෙකක්ද සොයාගෙන ඇත.

මේවා සොයා ගැනීමෙන් පසුව මෙම ව්‍යාපාරිකයා ඇතුළු දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

වැල්ලවාය ඇල්ල හංදිය ප්‍රදේශයේ වෙළදසැල බදු පදනම මත මෙම ව්‍යාපාරිකයාට ලබාදුන් කඩ හිමියා  පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර  ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයන් දෙදෙනා වැලිමඩ බෝගහකුඹුර අළුගොල්ල අරාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව පොලිසිය පවසයි.

වැල්ලවාය පොලිසිය කළ ඉල්ලීමකට අනුව හපුතලේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැලිමඩ බෝගහකුඹුර අළුගොල්ල අරාවේ ප්‍රදේශයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන වැල්ලවාය පොලිසියට බාරදී ඇත.

සැකකරුගේ නිවසට යාබදව දර මඩුවේ තිබූ හඳුනා නොගත් රසායනික ද්‍රව්‍ය අඩංගු බෝතල් දෙක පිළිබඳව වාර්තතාවක් ලබාගැනීම සඳහා ඒවා රස පරීක්ෂක කාර්යාලයට යොමු කිරීමට පොලිසිය කටයුතු කර ඇත.