කොළඹ වරාය නගරය පාලනය කිරිම සඳහා කොළඹ නගර සභාවෙන් බැහැරව විශේෂ පාලනාධිකාරියක් පිහිටුවන බවත් එහි පදිංචිකරුවන් සඳහා වෙනම ඡන්දයක් පවත්වන බවත් මහනගර සහ බස්නාහිර සංවර්ධන
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා
ඊයේ (7) මහනුවර සංවර්ධන වැඩපිළිවෙළ පිළිබදව පළාත් පාලන ආයතන නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා මහනුවර අම්පිටිය ඩෙවෝන් හෝටලයේදී පැවැති රැස්වීමක් අමතමින් පැවසීය.

වරාය නගරය ආරම්භ වීමෙන් පසුව මෙරට හැරගොස් සිටින වෘත්තීයවේදීන් 80,000කට පමණ එහි රැකියා ලබා දීමට රජය තීරණය කර ඇති බව පැවසූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේ වසර 2050 දක්වා දිවෙන ජාතික භෞතික සංවර්ධන සැලසුමක් තම අමාත්‍යාංශය මගින් රටට ඉදිරිපත් කර තිබෙන බවයි. වරාය නගරයේ සම්පුර්ණ භූමියේ අයිතිය ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුවට බවත් මෙය පාලනය කිරීම සදහා අවශ්‍ය නීති සම්පාදනය ලබන මැයි  මස පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසුව සිදු කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.


-අසේල කුරුළුවංශ- ‍