වැට මායිමේ ආරවුලකට අධිකරණයේ විභාග වන නඩුවක නම්කර ඇති නඩු භාණ්ඩ අතර කාත්තා පොලිස් කොස්තාපල්වරියකගේ ගෙවත්තේ තිබෙන කපා හෙළූ මහෝගනී දැව කඳන් 03ක්  උසාවියට රැගෙන ඒමට අවශ්‍යවී තිබේ.
එය රැගෙන ඒමට ගෙවත්තට පෙරේදා (17) ඇතුළු වූ පොලිස් නිලධාරියකුට අදාළ පොලිස් කාත්තාව කෙටූ කැති පහරින් ඔහු ඉවතට පැන දිවි බේරාගත් බව වාර්තාවේ.

 සැකකාර පොලිස් කාත්තාව අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පැවැසීය. ගෙවත්තට ඇතුළු වූ පොලිස් නිලධාරියා ඇතුළු පිරිස පන්නා දැමූ පොලිස් කාන්තාව ගේට්ටුවට ඉබි යතුරු දමා වසා දැමූ බවත්, අතට අසුවන දෙයින් දමා ගසමින් ආවේගශීලීව හැසුරුණු පොලිස් කාන්තාව  අත්අඩංගුවට
ගැනීමට ගිනි අවි අත ඇති  පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු නිලධාරීන් 12 දෙනකු යොදවා සැකකාරි අත්අඩංගුවට ගෙන  අත්විලංගු දමා පොලීසියට රැගෙන ඒමට සිදුව බව පොලිසිය පැවැසීය.

සැකකාරිය අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂණ අනුව යාබද ඉඩමේ හිමිකරු සමඟ  වැට මායිමට ආරවුලක් ඇතිකරගෙන ඇති බවත්, ඇය පෙර අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ බැදුම්කරයක් මත මුදාහැර සිටින තැනැත්තියක් බවත් අධිකරණයේ විභාග වන නඩුවට අදාළ නඩු භාණ්ඩ වන වැට මායිමෙන් කැපු මහෝගනී දැව කඳන් 03ක් රැගෙන ඒමට ගිය පොලිස් කොස්තාපල් ධර්මරත්න (60895) යන නිලධාරියාට එල්ල කළ කැති පහර වැරදුණු තැන සැකකාරි කලහකාරීව හැසීරමින් සිටීයදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.

සිද්ධියෙන් පසු කුරුණෑගල සහකාර පොලිස්  අධිකාරී  පාලිත අමරතුංග මහතා පොලිස් කාන්තාවගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇති අතර ඇය කුරුණෑගල රත්කරව්ව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් බවත් පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරිය අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.


-විජේසිංහ වැලිකන්ද-