චීන රාජ්‍යයේ අධ්‍යාපන අවස්ථා ලබාදෙන බවට පුවත්පත් දැන්වීම් මාර්ගයෙන් ජනතාව රවටා රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් වංචා කළ පුද්ගලයකු පිළිබඳව පැමිණිලි රැසක් ලැබී ඇතැයි කොල්ලුපිටිය පොලිසිය පවසයි.  මෙම පුද්ගලයා කොළඹ ආර්.ඒ. ද මැල් මාවතේ නිවෙසක පෞද්ගලික  ආයතනයක් පවත්වාගෙන
යමින් මෙසේ මුදල් වංචා කර ඇතැයි පොලිසිය කියයි. චීනයේ අධ්‍යාපන ආයතන කිහිපයකට සිසුන් ඇතුළත් කිරීමේ අවස්ථා ඇති බව පවසමින් රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලකට පොරොන්දු වී මාස 03ක් ඇතුළත විදේශ ගත කරනා බවට පොරොන්දු වී ව්‍යාජ ලිපි ලේඛන හරහා වරින්  වර මෙසේ මුදල්

වංචා කර ඇති බව කියයි.

මුදල් ලබාගත් බවට රිසිට් පත් නිකුත් කර ඇති අතර ඇතැම් අවස්ථාවලදී චීන භාෂාවෙන් මුද්‍රිත ව්‍යාජ බිල්පත්ද නිකුත් කර තිබේ. එහෙත් මාස තුන ඉක්මවීමට මත්තෙන් විදේශ ගත නොකිරීම පිළිබඳ ගනුදෙනුකරුවන්ට ඇති වූ සැකය මත කොල්ලුපිටිය පොලිසියේ මෙසේ පැමිණිලී කර ඇත. ඒ අනුව විමර්ශන ආරම්භ කිරීමේදී සැකකරු මීට පෙරද අවස්ථා කිහිපයකදී විදේශ ගත කරනා බවට 24 දෙනකු පමණ රවටා මෙලසම මුදල් වංචා කර ඇතැයි අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මාස 8ක පමණ කාලයක් බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටින්නකු බවද පොලීසිය කියයි. පෙර ගැනුම්කරුවන්ට ගෙවීමට නියමිත මුදලින් කොටස් ගෙවා තිබූ බවද පැවැසේ. පැමිණිලිකරුවන් මුදල් ඉල්ලා ඇමතුම් ලබා දීමේදී වෙනත් පුද්ගලයන් යොදවා විශ්වාසය දිනා ගැනීමට විවිධ උපක්‍රම යොදනා බවද ගනුදෙනුකරුවන් පවසයි. කොළඹ, නුවර, ගාල්ල, අනුරාධපුරය, කුරුණෑගල, හම්බන්තොට ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි 21-35 වයසේ පසුවන්නන් මෙසේ මූල්‍ය වංචාවන්ට හසු වී තිබේ.

 සැකකරුට එරෙහිව විදේශ  සේවා නියුක්ති කාර්යාශයන්ද නඩු පවරා ඇත. එබෑවින් යම් අයකු විදේශ ගත වීමට බලාපොරොත්තු වන්නේ නම් පළමුව අදාළ ආයතනය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ආයතනයක්ද යන වග විමසා ඉදීරි කටයුතුවලට යොමුවන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

-හෂාන් පුෂ්පික-