පසුගිය 2015 වසරේ සිට මේ දක්වා වසර හතරක කාලසීමාව තුළ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් සේවකයන් 6,000ක් විදුලිබල මණ්ඩලයට බදවාගෙන ඇති බවත්, එය ගැටලුකාරී තත්වයක් බවත් විදුලිබල හා බලශක්ති
සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා
පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඊයේ (18දා) මේ බව පවසා සිටියේය.  එමෙන්ම දින 51 ආණ්ඩු තුළද තවත් සේවකයන් පිරිසක් විදුලිබල මණ්ඩලයට බදවාගන ඇති බවද පැවසූ අමාත්‍යවරයා,

"මම වසර හතර තුළ සේවකයන් 6.000ක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් බඳවාගෙන තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ රැකියා අවස්ථා සඳහා සුදුසුකම් සියල්ල එකම  දිස්ත්‍රික්කයකින් මෙම මණ්ඩලයට පැමිණීම ගැන ගැටලුවක් තිබෙනවා. දින 5ක තහනම් ආණ්ඩුව පැවැති කාලසීමාව තුළ 433ක් විදුලි බල මණ්ඩලයට අරගෙන. ඒ අය මොන පදනමින් ගත්තාද කියලා තවම දන්නේ නැහැ. ඒ වගේම කෑගල්ලෙන් විදුලිබල මණ්ඩලයට ගන්න හදපු තවත් 800ක් අපි අත්හිටුවීමට කටයුතු කළා.

මේ සියලු පත්කිරීම් ගැන මම පාර්ලිමේන්තුවට පැහැදිලි විස්තරයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා" යැයි පැවසීය.

-චාමර සම්පත්-