https://www.gossiplankanews.com/2019/03/lasith-malinga-speaks-after-fail.html#more

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැති පළමු විස්සයි-20 තරගයේ දෙපිලේ ලකුණු සම වීමෙන් අනතුරුව “සුපිරි පන්දුවාරයක්” ක්‍රියාත්මක කිරීමට විනිසුරුවන් තීරණය කළ අතර එම සුපිරි
පන්දුවාරයෙන් ලකුණු 9ක ජයක් වාර්තා කරන්නට දකුණු අප්‍රිකානුවන් සමත් විය. කෙසේ වෙතත් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ ආකාරය සම්බන්ධයෙන් තමන් සතුටට පත් වන බව තරගය පිළිබදව අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පැවැසීය.

තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය

හමුව අමතමින් මෙම අදහස් පළ කළ ශ්‍රී ලංකා නායකයා "විස්සයි-20 තරග ඉතාමත් සිත් ගන්නාසුලු තරග රටාවක්. ඒ වගේම මෙය හොඳ තරගයක් ලෙස මා දකින අතරම විස්සයි - 20 තරගයක තිබිය යුතු සියලු ගුණාංග එහි අන්තර්ගත වූ බව බව මා සිතනවා. නමුත් විස්සයි-20 තරගයකදී ලකුණු 130ක් යනු අභියෝගයක් එල්ල කළ හැකි ලකුණු සංඛ්‍යාවක් නොවුණද දඟ පන්දු යවන්නන් දෙදෙනකු යොදා ගැනීමේ උපක්‍රමය සාර්ථක වුණා. අපි කණ්ඩායමක් වශයෙන් අපට හැකි උපරිම අයුරින් ක්‍රීඩා කළත් අවාසනාවන්ත ලෙස අවසානයේ අපට ජයග්‍රහණය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වුණා.  කෙසේ වෙතත් කණ්ඩායමේ සියලු දෙනා ක්‍රීඩා කළ ආකාරය සම්බන්ධයෙන් මම සතුටට පත් වෙනවා.” යනුවෙන් පැවැසීය.

තවද නවක ක්‍රීඩකයන්ට පිඩනය දරාගෙන ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් මෙම තරගයේදි හොඳ අත්දැකීමක් ලබා ගැනීමට හැකි වූ බවද පැවැසූ ලසිත් මාලිංග “මෙම පරාජය සම්බන්ධයෙන් කිසිම ක්‍රීඩකයකුට චෝදනා කළ නොහැකියි. කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ට පිඩනය දැඩිව දැනුණා. එමඟින් තරුණ ක්‍රීඩකයන්ට මෙවැනි තත්වයන් යටතේ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් හොඳ අත්දැකීමක් ලැබුණු බව මා සිතනවා. මෙම තරගයෙන් ඔවුන් බොහෝ දේ උගත් බව මගේ විශ්වාසයයි. මම මෙවැනි තත්වයන් සහ අවස්ථාවන් සඳහා හොඳින් පුහුණු වි තිබුණත් මා දැන් ටිකක් වයසයි.

සුපිරි පන්දුවාරයේදිත් විවිධත්වයක් සහිතව පන්දු යැවිමට මා උත්සාහ කළත් එම අවස්ථාවේදී එම උපක්‍රමය සාර්ථක වූයේ නැහැ. එහිදි ඩේවිඩ් මිලර් ඉතාමත් හොඳින් පන්දුවට පහරදුන්නා. මෙවැනි කෙටි ආකෘතියේ තරගයකදී පන්දු යැවීමේ විවිධත්වය, අවස්ථානුකූලව ක්‍රීඩා කිරීම, ආත්ම විශ්වාසය සහ ඉවසීම සම්බන්ධයෙන් නවක පන්දු යවන්නන්ට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙනවා. මම සෑම විටම විශ්වාස කරන දෙයක් තමයි ඕනෑම ක්‍රීඩකයකුට යම් අවස්ථාවකදී විශේෂ දෙයක් සිදුකළ හැකි බව. වරක් මම පන්දු 4කදී කඩුලු 4ක් ලබා ගත්තා. එවැනි විශේෂ දෙයක් ඕනෑම ක්‍රීඩකයකුගේ අතින් අප කිසිවකුත් නොසිතන අවස්ථාවක සිදුවිය හැකියි." යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.