සවුදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිටියදී මියගිය ශ්‍රී ලාංකික කාන්තාවකගේ දේහය වෙනුවට ඉන්දියානු ජාතිකයකුගේ දේහයක් මෙරටට එවීමේ පුවතක් මාවනැල්ලෙන් වාර්තා වෙයි.

දේහය වෙනත් ජාතිකයකුගේ බවට අනාවරණය වී ඇත්තේ පවුලේ සාමාජිකයන් විසින් එය භාරගෙන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

මාවනැල්ල මාලියද්ද ප්‍රදේශයේ බණ්ඩාරමැණිකේ ගෘහ සේවිකාවක් ලෙස සවුදි අරාබියට පිටත්ව යන්නේ 2015 දෙසැම්බර් 15වැනිදා.

ඉන් පසුව ඇය ලංකාවට නොපැමිණියත් පවුලේ සාමාජිකයින් සමග දුරකථනය ඔස්සේ සබඳතා පවත්වා තිබෙනවා.

පසුගිය පෙබරවාරි 12 වනදා බණ්ඩාර මැණිකේ පවුලේ සාමාජිකයන් අමතන්නේ රෝගී තත්ත්වයක් පිළිබඳ දැනුම්දීම සඳහායි.

ඉන් පසුව බණ්ඩාර මැණිකේගේ පවුලේ ඥාතීන්ට වෙනත් කෙනෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබේ.

ඒ පසුගිය 15 වැනිදායි.

පසුව බණ්ඩාර මැණිකේගේ දේහය ලංකාවට එවන බවට තවත් දුරකථන ඇමතුමක් ලැබෙනවා.

ඒ අනුව ඊයේ පස්වරුවේ මැණිකේගේ දේහය භාරගැනීමට ඇයගේ ඥාතීන්  කටුනායක ගුවන් තොටුපළ වෙත යනුලබනවා.

පවුලේ ඥාතීන් පවසන්නේ, බණ්ඩාර මැණිකේගේ මරණය සැක සහිත බවයි.

කෙසේ වෙතත් සෞදි අරාබියේ දී මියගිය ඉන්දියානු ජාතිකයෙකුගේ මළ සිරුරක් වෙනුවට ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් ඉන්දියාවට යවා ඇති පුවතක් විදෙස් මාධ්‍ය ඊයේ(21)දිනයේ දී වාර්තා කර තිබිණි.