කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවස නව වසරට සැරසීම සඳහා පෙරේදා (01) උදේ මල් ගෙනයමින් සිටි කොළඹ මල් ශාලා සේවකයකු අතරමගදී වඳුරකුගේ සපාකෑමකින් තුවාල ලබා කොළඹ
ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ හෝමාගම උඩුවන පදිංචි නිමල් පෙරේරා (51) නමැත්තෙකි.

නිදරු පියකු වන නිමල් පෙරේරා සිද්ධිය විස්තර කරමින් මෙසේ කීය.

''මම වැඩ කරන්නේ
කොල්ලුපිටියේ මල් ශාලාවක. ජනාධිපති මන්දිරයෙන් අපේ ආයතනයට මල් ඕඩරයක් දිල තිබුණ. මම ඒ මල් ඕඩරයත් අරගෙන පළවැනිදා උදේ මගේ ත්‍රිරෝද රථයෙන් ඡනාධිපති මන්දිරය  බලා පිටත්වුණා. ත්‍රිරෝද රථය තුම්මුල්ල  හන්දිය පසුකරලා ජනාධිපති මන්දිරය  දෙසට හැරෙව්වා. ඒ එක්කම එතන වැටේ හිටපු වදුරෙක් පැනල ඇවිත් මගේ අත සපා කෑවා. මම එහෙමම ත්‍රිරෝද රථයෙන් ඡනාධිපති මන්දිරේ ගේට්ටුව ළඟට ගියා. එතන හිටපු ආරක්ෂක නිලධාරීන් මල් ටික  බාරගෙන එයාලාගේ දෙන්නෙකුත් එක්ක මාව කොළඹ ඡාතික රෝහලට අරගෙන ආවා.

 මට වකුගඩු අමාරුවක් තියෙනවා. ඒ නිසා මම ඉතා අසරණ තත්වයට පත්වෙලා ඉන්නේ.''

 මෙම වඳුරා මේ වන විට 40 දෙනෙකුට  වැඩි පිරිසක් සපා කා ඇති බව එහි සිටි පිරිසක් පැවසූ බවද ඔහු පැවැසීය.

තුවාලකරු මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ තත්වය බරපතළ නොවන බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

 ප්‍රියන්ත ජයලත් සහ - ජයසේන හක්වැල්ල