ජාතික ලොතරැයි මණ්ඩලය මගින් දිනුම් ඇඳ පළමු ත්‍යාගය වශයෙන් ජයග්‍රහණය කර තිබූ රුපියල් දෙකෝටි විසිහය ලක්‍ෂ  තිස් එක්දහස් එකසිය හැත්තෑවක මුදල වංචාවෙන් ලබාගැනීමට උත්සාහ කළ බව කියන ඇල්පිටිය ප්‍රදේශයේ දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය පවසයි.

ජයග්‍රාහී ලොතරැයි පතේ අංකය මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමෙන් පසු ලොතරැයි පතකට සූක්ෂම ලෙය ජයග්‍රාහී අංක අලවා එම ටිකට්පත ලොතරැයි මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි යැයි පොලිස් වංචා විමර්ශන කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයෙක්  ඊයේ (2) පැවැසීය.

ජයග්‍රාහී අංකයට අමතරව කාණ්ඩ අංකය, දිනුම් ඇදීමේ  වාරය හා දිනුම් අදින ලද දිනය ද සූක්ෂම ලෙය වෙනස් කර ඇතැයි පොලිසිය කියයි.

ජයග්‍රාහී මුදල් ලබාගැනීමට ලොතරැයි පත මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ එය ව්‍යාජ එකක් බව පෙනී යාම නිසා ඔවුන් වංචා විමර්ශන කාර්යාංශයට ඒ බව පැමිණිලි කර ඇත. ව්‍යාජ ලොතරැයි පත ඉදිරිපත් කළ බව කියන ඇල්පිටිය ප්‍රදේශයේ කුරුඳු ව්‍යාපාරිකයෙක් මුලින්ම සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ බව වංචා විමර්ශන කාර්යාංශය කියයි.

ඔහුගෙන් හෙළි කරගත් තොරතුරු මත ජයග්‍රාහී ලොතරැයි පතට සමාන ලෙස ව්‍යාජ ලොතරැයි පත සැකසු බව කියන පුද්ගලයා ද සැකපිට අත්අඩංගුවට ගත් බට එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

එම සැකකරු කුරුඳු ව්‍යාපාරිකයා යටතේ සේවය කරන කම්කරුවෙකි.  ව්‍යාජ ලෙස සකස් කරන ලද බව කියන ලොතරැයි පත ද පොලිස් බාරයට ගනු ලැබීය.

ත්‍යාග මුදල ලබා ගැනීමෙන් පසු එයින් කොටසක් ලබාදෙන බවට කුරුඳු ව්‍යාපාරිකයා පොරොන්දු වීම නිසා තමා මෙයට සම්බන්ධ වූ බව දෙවැනි සැකකරු පොලිසියට පවසා ඇති බව කියයි.

-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-