ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් කැඳවීමට
බලකරන මැන්ඩමූස් රීට් ආඥාවක් කොටුව පොලිස්ථානාධිපතිවරයාට හා පොලිස්පතිවරයාට නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණය අද (07) නිෂ්ප්‍රභ කර තිබේ.
ඒ, අදාළ පෙත්සම පදනම් විරහිත පෙත්සමක් බවට නිගමනය කරමිනි.
පෙත්සම ගොනුකර
තිබුණේ තක්ෂිලා ලක්මාලි ජයවර්ධනයි.
එම පෙත්සම නිෂ්ප්‍රභ කළ අභියාචනාධිකරණය පෙත්සම් පාර්ශවයට නියෝග කළේ, වග උත්තරකරුවන්ට රුපියල් ලක්ෂයක නඩු ගාස්තු ගෙවන ලෙසයි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී. පද්මන් සූරසේන සහ අර්ජුණ ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම පෙත්සම කැඳවනු ලැබුවේ ය.

මානසික වෛද්‍ය ආඥා පණත යටතේ අංක CA/385:/2018 දරණ පෙත්සම ගොණුකරන ලද්දේ තක්ෂිලා ජයවර්ධනගේ නීතිඥවරයා වූ සිසිරකුමාර සිරිවර්ධන නීතිවේදියායි.

පෙත්සම ඉදිරිපත් කිරීමෙන් පසුව සිසිරකුමාර සිරිවර්ධන මාධ්‍ය අමතා කියා සිටියේ මානසික රෝගී පුද්ගලයාගේ ආරක්ෂාව සඳහාත් ඔහුගෙන් පුරවැසියන්ව ආරක්ෂා කර ගැනීම සඳහාත් ඉහත ආඥා පණත ක්‍රියාත්මක වන බවයි.

එසේම ජනාධිපතිට අදාල මුක්තිය ඇත්තේ සිහිබුද්ධියෙන් සිටීනම් පමණක් වන අතර මානසික වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු තත්ත්වයක හිඳින්නේ නම් ඔහුට මුක්තියේ රැකවරණය අහිමි වන බවද නීතිඥවරයා පවසා තිබුණි.