https://www.gossiplankanews.com/2019/01/4-rajapaksa-statements-on-president-candidate.html
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ සොයුරන් තිදෙනකු හා නාමල් පුතණුවන් පසුගිය 13 ඉරිදා සිට මේ දක්වා ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයෙකු ගැන එකිනෙක පරස්පර අදහස් දක්වා තිබේ. දේශපාලන ආරංචි හෙළි කරන්නේ මහින්ද කඳවුර සිය ප්‍රතිවාදීන් අවුලට පත් කිරීම පිණිස මෙම කතාව හිතාමතා නිර්මාණය කර ඇති බවයි.
තංගල්ලේ දෙමාපිය ස්මාරකය රජයේ වියදමින් තැනීම පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ පෙනී සිටින නඩුව ලබන සතියේ (22 දින සිට) දිනපතා විමර්ශනය කර අවසන් කිරීමේ පසුබිමක් තිබියදී තම ශක්තිය විදහාදැක්වීමේ ප්‍රකාශයක් ලෙස
‘ජනපතිවරණයට ඔබත් සූදානම් නම් මම සූදානම්‘ යයි ගෝඨාභය පවසා තිබෙන බව දේශපාලන ආරංචි හෙළි කර තිබේ.

ඒ අතරම ඔහු ඇමරිකාවේ සිට ලංකාවට ආවේ සිය ඇමරිකානු පුරවැසිභාවය පිලිබඳ ගැටලුව නිරාකරණය පිණිස කටයුතු යොදා බවටද කතාවක් පැතිර තිබේ.

මේ අතර ගෝඨාභය එසේ කියූ දිනයේම ඔහුගේ සොයුරු බැසිල් රාජපක්ෂ 2020 ජනපතිවරණයට අනිවාර්යයෙන් පොහොට්ටුවේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව කියා සිටි නමුත් නම හෙලි කළේ නැත. තවම ගෝඨාභය පොහොට්ටුවේ සාමාජිකයෙකු ලෙස පෙනී නොසිටින පසුබිමක් තුළ ගෝඨාභයගේ හා බැසිල්ගේ කතා පරස්පර මුහුණුවරක් ගන්නා ලදි.
 
මේ අතර ඊයේ 15 ලංකාදීප පුවත්පත වෙත ප්‍රකාශයක් ලබාදී ඇති හිටපු කතානායකවරයෙකුද වන චමල් රාජපක්ෂ ජනපතිධූරය සඳහා තමන් සුදුසු නම් ඒ සඳහා තමන් සූදානම් බවත් පවසා තිබේ. “ගෝඨාභය රාජපක්ෂ මහතා කිව්වේ ඔබ සූදානම් නම් මමත් සූදානම් කියලයි. මමත් සූදානම්. සුදුසුම නම් මමත් සූදානම්” ඔහුගේ වචන පෙළයි.

මෙම කතා හුදෙක්ම තිදෙනාම කතාබහ කර ප්‍රකාශ කරන්නාවූද අසන්නන්ගේ අවධානය වෙනතක යැවීමේ වෑයමක් වූද ඒවා ලෙස මේ අනුව හඳුනාගත හැකිව තිබේ.

මේ අතර මහින්ද රාජපක්ෂ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හම්බන්තොට උඩ මත්තලදී  පැවැති ජන හමුවකදී ඊයේ (15දා) මෙසේ කියා ඇත.
“අපිට ජනාධිපති අපේක්ෂකයෙක් තෝරනවයි කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක කියන්නත් අපි බය නෑ.ගැටලුව තියෙන්නේ අපි අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා රටට කියන්න කලින් මේ ආණ්ඩුව කියන්න ඕනේ, ජනාධිපතිවරණයක් තියනවද නැත්නම් ව්‍යවස්ථාවක් ගේනවද කියලා.ව්‍යවස්ථාවක් ගෙනල්ලා ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් අපේක්ෂකයෙක් තෝරලා වැඩක් නෑ.නමුත් නියම වෙලාවට නියම අපේක්ෂකයා කවුද කියලා අපි රටට කියනවා.”