ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ තරුණියක් සිය මෝටර් රථයේ නංවාගෙන පැමිණ ඇයට බියර් බොන්නටදී ලිංගික අතවර කළේ යැයි තෙලිකඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් හිමිනමක හා එහිමියන්ගේ රියැදුරාට
එරෙහිව පැමිණිල්ලක් ගොනු කරන ලෙස බද්දේගම මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා පෙරේදා (14දා) තෙලිකඩ පොලිසිය නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කර වැඩිදුර වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මීට අදාළ නඩුව 2019 මාර්තු 13 වැනි දින නැවත කැඳවන බවත් මහෙස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

සැකකරුවන් දෙදෙනා මේ වන විට එක් අයකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැර තිබේ. මෙසේ ඇප මත මුදා හැර ඇත්තේ තෙලිකඩ ප්‍රදේශයේම විහාරස්ථානයක භික්ෂුන් වහන්සේ නමක් සහ එම රියැදුරාය.

 තෙලිකඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සමරජීව මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. අතවරයට පත්ව ඇත්තේ ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියකි. ඇය දෙවැනි සැකකාර රියැදුරුගේ හිතවතියක් බවද තෙලිකඩ පොලිසිය කියයි.

පසුගිය දිනක ඇය හික්කඩුව ප්‍රදේශයේ රාත්‍රි සාදයකට යෑමට සූදානම්ව සිටියදී අදාළ ස්ථානයට ඇරලවන්නම් යැයි පවසා සැකකරුවන් දෙදෙනා විසින් තරුණිය මෝටර් රථයේ නංවාගෙන පසුව ඇයට බියර් බොන්නට දී සැකකරුවන් දෙදෙනා ද බියර් පානය කර පසුව රාත්‍රි 1.00ට පමණ ඇය මෝටර් රථයේ නංවාගෙන යමින් සිටියදී ලිංගික අතවර කර ඇති බවත් එහිදී ඇය මෝටර් රථයේ සුක්කානම කරකැවීම හේතුවෙන් මෝටර් රථය පාරෙන් ඉවතට පැන වෙලකට වැටී ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

පසුව සැකකරුවන් දෙදෙනා පලාගොස් ඇති අතර තරුණිය ප්‍රදේශවාසීන් විසින් තෙලිකඩ පොලිසියට භාරදී තිබේ. මෝටර් රථයද බද්දේගම - ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පන්සල ඉදිරිපිට වෙලේ තිබියදී පොලිසිය භාරයට ගෙන තිබේ.


බළපිටිය - දම්සාරී ලියනගේ