https://www.gossiplankanews.com/2018/12/marco-death-update-lift-collapse.html#more
ප්‍රකට රගර් ක්‍රීඩක කෝකිල සම්මන්දපෙරුම හෙවත් මාර්කෝට මරු කැඳවූ කොළඹ නවම් මාවතේ රාත්‍රි සමාජ ශාලාවේ විදුලි සෝපාන අනතුර සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර තොරතුරු අනාවරණයවී තිබේ.
සිද්ධියට මුහුණ පෑ අයෙකු දන්වා සිටි ආකාරයට මෙම සිදුවීම අවස්ථාවේ විදුලි සෝපානය ඉහළට යාමක් සිදුවී නැත. මාර්කෝ සහ තවත් කිහිප දෙනෙකු
සෝපානයට නගින්නට ස්විච්චය ඔබන අවස්ථාවේ ලිෆ්ට් එකේ යාමට 15 ක් පමණ සිට ඇති අතර කට්ටිය වැඩිවීම හඟවන සංඥාව දිස්වී නැත.

මාර්කෝ අවසන් පුද්ගලයා ලෙස සෝපානයට ගොඩවී පාද තබනවාත් සමගම ග්‍රවුන්ඩ් ෆ්ලෝර් තිබුණ

ලිෆ්ට් එක බේස්මන්ට් එකට වැටී ඇත. එම අවස්ථාවේ ලොකු දුරක් එය පහළට නොගියද එහි විවරවීමක් සිදුව තිබූ දොරින් ඇතුලුවන්ට හදද්දී සිරවී බිමට පතිතවූ නිසා මාර්කෝට බරපතල තුවාල ඇතිව තිබේ.

පහළට යාමත් සමග ගොඩනැගිල්ලේ බිත්ති කොටස හා ලිෆ්ට් එක අතර මාර්කෝ සිරවී සිටි බවත් ඔහුගේ පපුව සිරවී ලේගලමින් සිහි නැතිව සිටි බවත් වාර්තා වේ.
මාර්කෝ එම අවස්ථාවෙ ජීවිතක්ෂයට පත්ව ඇත.
එම සිදුවීම සෝපානයේ ගිය එක් අයෙකු විස්තර කළේ මෙසේය.

“අපි ඇතුළට ගියා කට්ටියම අපේ 10 ක් විතර හිටියා. ඊට පස්සේ ලිප්ට් එක ඔබලා ඒක එනකම් හිටියා. ලිප්ට් එක ආවට පස්සේ අපි කට්ටියම ඇතුලට ගියා. ඒ කියන්නෙ අපි හිටපු අය ඔක්කොමයි, තව එතනදි තව හතර පස් දෙනෙක් ආවා ඇතුල‍ට. එත‍කොටම ඇවිල්ලා උඩට යන්න හදද්දිම එකපාරට එක ෆ්ලෑස් එකකින්, ලිෆ්ට් එක එකපාරටම පල්ලෙහාට වැටුනා.මම දැක්කෙ මාකෝගේ අතකුයි, ලෙෆ්ට් පුට් එකයි ස්ටාම් එකයි විතරයි මට පෙනුනෙ. තව එක්කෙනෙක් එහා පැත්තෙන් හිටියා එයාගෙත් ඇගේ කෑල්ලයි තිබුණේ.ඇතුලේ කට්ටියම ඔක්කොම කෑගැහුවා කරගන්න දෙයක් තිබ්බෙ නැහැ ඒ වෙලාවේ.

ෂර්ට් එක

ගලවලා අතේ ඔතාගෙන එහා පැත්තෙ තිබුන වීදුරුව කැඩුවා එතකොට අනිත් පැත්තෙනුත් තව වීදුරුවක් තිබුනා ඒ වීදුරුව කැඩුවා එළියේ හිටපු කට්ටිය. ඒ වීදුරුව කඩලා එතනින් තමයි කට්ටියම එළියට ගත්තේ. ලැඩර් එකක් දාලා අන්තිම කට්ටියව එළියට ගත්තා ලිෆ්ට් එක ඇතුලේ හිරවෙලා හිටපු අය.

ඕවර් ලෝඩ් වුනා කියලා කියන්න කිසිම සාක්ෂියක් නැහැ එක තප්පරයක්වත් ගියේ නැහැ ලිෆ්ට් එක පහළට වැටුණා.මම ඒ වෙලාවේ ඇතු‍ලේ හිටියේ පිටිපස්සේ වීදුරුව කඩාගෙන තමයි එළියට ආවේ”

අනතුර අවස්ථාවේ ඇතුළේ සිටි අය එහි තිබූ අංකයට කථා කර උදව් ඉල්ලා ඇති අතර සෝපානය අයත් සමාගම කාර්මිකයින් පිරිසක් එවා සිරවී සිටි අය බේරාගැනීමට අවශ්‍ය කටයුතු යොදන ලදි. මේ අතර ගිනි නිවන හමුදාව හා පොලිසියද පැමිණ ඒ ගැන සොයා බලා ඇත. සිරවී තිබුණ මියගිය මාර්කෝව පහසුවෙන් එතැනින් ඉවත් කරන්නට බැරිවූ බවත් ගිනි නිවන හමුදා සහායෙන් සිරුර ඉවත්කළ බවත් වාර්තා විය.

පශ්චාත් මරණ පරීක්ෂණය ජාතික රෝහලේදී සිදුකෙරුණු පසු අනාවරණය වී තිබුනේ මියගිය කෝකිලගේ පපු කුහරයට හානීවීමෙන් ඇති වූ ස්වසන අවහිරතා හේතුවෙන් මරණය සිදුව ඇති බවයි.

පොලිසිය පැවසුවේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ කරුණු වාර්තා කළ බවයි.
විදුලි සෝපානය කඩා වැටීමට හේතු සොයා බැලීමට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඉංජිනේරුවන් යොදවා තාක්ෂණික වාර්තාවක් කැඳවීමට අධිකරණය නියෝග කළ බවත් මෙය පැරණි විදුලි සෝපානයක් බවත්, තාක්ෂණික වාර්තාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිසිය පවසා තිබේ.
මේ අතර අදාළ රාත්‍රී සමාජ ශාලාව ලබන 03 වන දා දක්වා වසා දමා ඇති බවද වාර්තාවේ.

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව
සමාජ ශාලාවේ විදුලි සෝපානය කඩා වැටී ප්‍රකට රගර් ක්‍රීඩක මාර්කෝ මරුට