https://www.gossiplankanews.com/2018/12/Kokila-Sammandapperuma-Marco-dies-in-lift.html
කොම්පඤ්ඤවීදිය නවම් මාවතේ උස ගොඩනැගිල්ලක පිහිටි රාත්‍රී සමාජ ශාලාවක විදුලි සෝපානයක් කඩා වැටීම නිසා ප්‍රකට රගර් ක්‍රීඩකයෙකු අද අළුයම මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මාර්කෝ යන නමින්ද ප්‍රකටව සිටින බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි
කෝකිල සමන්දපෙරුමයි.
අද (29) අළුයම 1.50ට පමණ නවම් මාවතේ ග්‍රීන්ලංකා ටවර්ස්හි 10 වන මහලේ පිහිටා තිබෙන 'Amuseum' නමැති සමාජ ශාලාව වෙත යාමට විදුලි සෝපානයෙන් ඉහළට යද්දී සෝපානය අනපේක්ෂිතව ඇද වැටීම නිසා මෙම අවාසනාවන්ත මරණය සිදුව ඇත.

අනතුරට ලක්වන අවස්ථාවේ විදුලි සෝපානයේ පුද්ගලයින් තිදෙනෙකු ගමන් කර ඇත. ඔවුන් ඉහළට ගමන් කරද්දී මෙම සෝපානය කඩා වැටුණ බවත් යටි බිම් මහලේ අඩියට පුද්ගලයින් සමග එය පතිත වූ බවත් පැවසේ.

සිද්ධියෙන් තුවාල ලත් තිදෙනාගෙන් කෝකිලගේ තත්වය බරපතල විය.ඔහු රෝහලට ඇතුළත් කළ පසු මියගියේය.

අනෙක් දෙදෙනාද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර තුවාල ලත් එක් අයෙකු රෝහලෙන් ප්‍රතිකාර ලද පසු පිටව ගොස් ඇත.

මියගිය කෝකිල CR & FC රගර් කණ්ඩායම නියෝජනය කරන ඉදිරිපෙල ක්‍රීඩකයෙකු වූ අතර CR & FC රගර් කණ්ඩායමේ නායක ෂේන් සමන්දපෙරුමගේ සහෝදරයා ද වූයේය.

කෝකිල 2012 වසරේ කොළඹ වෙස්ලි විද්‍යාලයේ රගර් නායකයා ලෙසද කටයුතු කර ඇති අතර 2013 ජනාධිපති කුසලාන දිනාගත් කණ්ඩායමද නියෝජනය කළ රගර් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ අයෙකු වූයේය.
මියයනවිට 24 හැවිරිදි වියෙහි පසුවූ කෝකිලගේ දේහය බත්තරමුල්ල තලංගම උතුර 157/1 ලිපිනයට රැගෙන යාමට නියමිතව තිබුණි.