https://www.gossiplankanews.com/2018/11/maithri-agrees-new-government-with-unf.html#more
සුගිය ඔක්තෝබර් 26 වනදා ජනපතිගේ තීරණයක් නිසා ඇරඹුණ දේශපාලන පෙරළිය නොවැම්බර් 30 සිකුරාදා වනවිට හරියටම සති 5 කින් ඔහුගේම තීරණයකින් අවසන් වන්නට නියමිත බව මේ වනවිට දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
අද විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට නියෝජිතයෙකු ලෙස එවා කතානායක කරු සාකච්ඡාවකට කැඳවන්නට ජනපති තීරණය කර තිබූ අතර කරු සමග සාකච්ඡාවලින් පසු හෙට 30 සිකුරාදා
මෙම වෙනස සිදුකිරීම සම්බන්ධ අවසන් සාකච්ඡා පවත්වන්නට ජනපති මෛත්‍රිපාල සිරිසේන විපක්ෂ නායකවරයාට හා එක්සත් ජාතික පෙරමුනේ මන්ත්‍රීවරුන්ට දන්වා ඇත. ලැබෙන ආරංචි අනුව වාර්තා වන්නේ ප්‍රතිඵලය මින් ඉහත සිදුවූ ආකාරයට වෙනස් බවයි.ජනපති මෙවර විශ්වාස කළ හැකි බවයි.
මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව බලාපොරොත්තුවූ ආකාරයට රනිල් පහසුවෙන් ඉවත් කර රාජපක්ෂ රජයක් ලංකාව තුළ පිහිටුවීමට මෛත්‍රී-මහින්ද එකතුවට පූර්ව සැලසුමක් තිබුණ නමුත් ඒ සිතූ ආකාරයට දේවල් සිද්ධ නොවීය. පසුව එන එන විදිහට දුරදිග නොබලා තීරණ ගන්නට ගොස් ජනපතිවරයාට සිය ධූරය සම්බන්ධ උගුලකට හසුවී ඇති බව තේරුම් ගිය බවද දේශපාලන ආරංචි හෙළි කරයි.


ජනපතිගේ ‍අගමැති වෙනස් කිරීමේ පළමු තීන්දුව නිසා ව්‍යවස්ථාදායකය සමග ගැටුමක්ද දෙවනුව දුරදිග නොසිතා පාර්ලිමේන්තුව විසුරුවීම නිසා අධිකරණය සමග ගැටුමක්ද එල්ල විය.
මෙම තීරණ මේ වනවිට අධිකරණය තුළ විභාග වන නඩු බවට පත්ව ඇත. යම් හෙයකින් ඒවායේ තීන්දු මගින් ජනපති ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට තීරණය වුවොත් ජනපති ධූරයෙන්ද උපරිම කාල සීමාවට පෙර ඉවත්වන්නට මෙන්ම දේශපාලන කළුපැල්ලමක් ඇති කරගන්නට සිදුවනු ඇත. දැනටමත් පැල්ලම් ඇති කරගෙන තිබීම වෙනම කතාවකි.
අද 29 උදෑසන වාර්තාවූයේ ජනපතිවරයාගේ විසුරුවීමේ ගැසට්ටුව ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන්නට නියමිත 7 වනදාට පෙර ඔහු සිය ගැසට් පත්‍රය අවලංගු කරන තවත් ගැසට් පත්‍රයක් පිටකරන බවයි. එසේ කළොත් එම තීන්දුව මගහරින්නටත් ව්‍යවස්ථා උල්ලංඝනයෙන් මිදීමටත් ජනපතිට අවකාශ සැලසේ.
නැවත තමන් රජයක් ලෙස සහය දෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ අගමැතිවරයකුට පමණක් බව ටීඑන්ඒ මේ වනවිට දැනුම්දී තිබෙන පසුබිමක දැනට ආණ්ඩුවක් පිහිටුවන්නට එකම හැකියාව ඇත්තේ එජා පෙරමුණට බව ඒත්තු ගන්වා තිබේ.
හෙට 30 වනදා එජා පෙරමුණ සමග ජනපතිගේ සාකච්ඡාව අනාගත අගමැති සම්බන්ධ අවසන් තීන්දුව ලබාදෙන්නක් වනු ඇත.
ජනපතිවරයා රනිල්ට අකමැති බව පුනපුනා ප්‍රකාශ කළත් එජා පෙරමුණ ඉන්නේ රනිල් අගමැති කරන ස්ථාවරය තුළමය. මෙම සාකච්ඡාවේදී එළැඹෙන තර්ක අනුව ජනපතිට ව්‍යවස්ථා ගැටලුවට මුහුණ නොදී අඩියක් පසුපසට ගන්නට සිදුවන්නටද ඉඩ තිබේ.මේ වනවිට විපක්ෂයේ මතයට සියල්ල හැරී ඇති පසුබිම තුළ  එසේ වුවොත් අකමැත්ත ඉවසා මෛත්‍රීට රනිල්ව නැවත අගමැති කළ හැකිය.

 එසේ නොවුණොත් හෙට සාකච්ඡාවේදී රනිල් වෙනුවට විකල්ප ඉදිරිපත් විය හැකිය.

ඒ අය අතර සජිත් ,කරු, චම්පික සිටිය හැකි අතර අද 29 පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමති ලක්ෂ්මන් යාපා කියා සිටියේ කිසිවෙකු නොසිතූ කෙනෙකුට ජනපති කැමති විය හැකි බවයි.ඇතැම්විට තිලක් මාරපන වැනි අයෙකුට අගමැතිකම ලැබෙනු ඇති බව ඔහු ඉඟි කර තිබුණි.

කෙසේ වෙතත් අවසන් තීන්දුව හෙට උදේ සාකච්ඡාව අනුව සිදුවනු ඇත.ඉදිරියට ටීඑන්ඒ එජා පෙරමුණේ අගමැතිට සහය දෙන පසුබිම තුළ එජා පෙරමුණට බහුතරය ගැන කිසිදු ගැටලුවක් නොමැතිවී යනු ඇති අතර සන්ධානයෙන් ඇතැම් පිරිස්ද එම රජයට එක්වනු ඇති බවට ආරංචි පවතී.

මේ අතර ටීඑන්ඒ තවදුරටත් විපක්ෂයක් නොවන අතරම විපක්ෂ නායකකම සම්බන්ධන්ගෙන් ගිලිහී යනු ඇත. ඒ නිසා ප්‍රධාන විපක්ෂය වනු ඇත්තේ සන්ධානයයි. විපක්ෂ නායකත්වයට මහින්ද රාජපක්ෂ හොඳම සුදුස්සා ද වනු ඇත. අගමැති ධූරයේ සිට විපක්ෂ නායක ධූරයට මහින්ද ගමන් කිරීම සිදුවිය හැකිද? දේශපාලනය තුළ සිදුවන දේවල් කල් ඇතිව නිගමනය කළ නොහැකි නමුත් සිදුවිය හැකිය.

හෙට රැස්වීමට ටීඑන්ඒ නායකයාටද මෛත්‍රී අඩගැසුවේ මෙම බල හුවමාරුවද සාකච්ඡාවට ගැනීමට වියහැකිය.
එසේ බලද්දී එජා පෙරමුණ යටතේ හෙට පිහිටුවන්නට ඉඩ ඇත්තේ අලුත් ආණ්ඩුවකි. මන්ද මින් ඉහත ශ්‍රිලනිප එජාප හවුල් ආණ්ඩුව දැනටමත් නොමැතිවන බැවිනි.
ඊළඟ මැතිවරණ සඳහාද වැඩි කාලයක් නැත. ජනපතිවරණය තව අවුරුද්දකින්ද මහමැතිවරණය අවුරුදු එකහමාරකින්ද පවත්වන්නට සිදුවනු ඇත. එතෙක් කලබල නොකර ඇතුළේ ගැටලු මේ ආකාරයට විසඳාගන්නේ නම් ජනතාවට කරදරයක් නැත.
මේ අනුව සති පහේ නාටකය හෙටින් අවසන් වන ලකුණු දැන් පහළ කර තිබේ.