https://www.gossiplankanews.com/2018/11/inside-report-gossiplanka.html
ක්තෝබර් 26 වනදා සවස සිට ලංකාවේ සිදුවූ දේශපාලන වෙනස මහින්ද ලෝලීන්ට සතුට ඇතිකරවන්නක් වූ අතර ආණ්ඩුව පත් කළ අයට අහම්බයක් විය.
මහින්දට ජනපති ධූරයට 3 වන වර තරග වදින්නට බැරි බවට 19 වන සංශෝධනයෙන් පවතින අවහිරය නිසා 2020දී ගෝඨාභය බලයට පත් කර මහින්ද අගමැතිවරයෙකු කිරීමේ
සිහිනයක සිටි මහින්ද ලෝලීන්ට කල් ඇතිවම වෙනත් උපායකින් මහින්ද අගමැති කරවීමට හැකි බව දැනගැනීම එම සිහින මල්ඵල ගන්වන්නක් විය.
2014 මෛත්‍රීට ඡන්ද ලබාදුන් ලක්ෂ 62 ක ජනතාව තුළ  මහින්ද එපාවූ එජාප ලෝලීන් බහුතරයත් මහින්ද එපාවූ සුළු ජාතිකයන් බහුතරයත් සිටිම තුළ මෛත්‍රිට කතිරය ගැසූ අයට මෛත්‍රී ලබා දුන්නේ අකමැතිම දෙයයි. මේ නිසා එම පිරිසගේ විමතියට මෙය හේතුවක් විය.
මාව මරන්නට සැලසුම් කළාය, අපි දෙන්නාගේ සංස්කෘතිය වෙනස්ය.

නොකැමති දේවල් කරන්නට ගියාය වැනි ගැටලු පෙන්නා මෙම වෙනස පිළිබඳ තීරණය  සාධාරණීකරණය කරන්නට මෛත්‍රී වෑයම් කළත් සබුද්ධික ජනතාවට මෙය හුදෙක් පුද්ගලික තීරණයක් බවත් ඒ තීරණයට එකම හේතුව 2020 න් පසුවත් බලයේ රැඳී සිටීම බවත් පැහැදිලිව තේරුම්ගන්නට හැකියාව තිබේ.

වෙනස සිදුවී අදට දින 10 කි. මෙම දින 10 තුළ වරින්වර මේ වනවිට මහින්ද සිය ගොඩ තරකරගැනීමට වෙහෙසී ඇත. ඒ වෙනුවෙන් මුදලට හෝ තාන්න මාන්න වලට වසඟවූ  ඇමතිවරුන් රැසක්ම දිවුරුම් දී ඇති අතර ඒ බොහෝ අය එම ධූරවලට සුදුස්සන් වී ඇත්තේ 'අධ්‍යාපනයෙන්', 'අත්දැකීමෙන්'.'පරිපාලන හැකියාවෙන්' නොව හුදෙක්ම 'අත ඔසවන්නට එකඟවීම' යන එකම සාධකය නිසාය. මෙම සාධකය හේතු කරගෙන දේශපාලන වාසි වෙනුවෙන් පසුගිය කාලයේ මහින්ද විමල් භාවිත කළ 'දේශප්‍රේමී සටන් පාඨ' ද අමතක කර දමා තිබේ.

මහින්දගේ පසුගිය ජනපති වාරයේ 18 වන සංශෝධනය සම්මත කරගන්නටද එජාපයෙන් පිරිස් අද්දවා 2/3 බහුතරය සකසා ගත්තේ මේ ආකාරයටමය. එම 18 වන සංශෝධනය ගෙන එන්නට එතරම් වියදම් කර තිබුනේ 'එක් අයෙකුට 2 වරක් නොව ඕනෑතරම් වාර ගණනක් ජනපති ලෙස තරග කර දිනන්නට හැකිය' යන හුදෙක්ම පුද්ගලික අභිලාෂය පෙරදැරි කරගත් වගන්තිය අනුමත කර ගන්නටය.

මෙවර වියදම් කරන්නේ රටේ ජනතාවට අලුත් ආණ්ඩුවක් තනා රුපියල බස්සවා, ඉන්ධන මිල අඩුකර, දළ ජාතික අගය ඉහළට ඔසවා සුඛිත මුදිත ආනගතයක් ඇතිකරවන්නට යයි කිසිවෙකු සිතනවාදැයි පැහැදිලි නැත.
සැබැවින්ම මේ දිනවල ලබාදෙන ඇමතිකම් යනු රට හදන්නට දෙන ඇමතිකම් යයි අර්ථ දක්වන්නටද හැකිදැයි ගැටලුවකි. එය හුදෙක්ම බලය ඇල්ලීමට යන 'ගේමක'  නාමමාත්‍රික ඉත්තන් ලේබල් කිරීමක් පමණි. මෙම ගේම් එක අරමුණු වන්නේ රට වෙනුවෙන් නොවේ.

පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් හමුවේ පැවැත්වූ සාකච්ඡාවකදී මෙම 'ගේම් එකේ' ඇත්තම අරමුණු හෙලිදරව් විය. එහිදී ඔහු පවසා සිටියේ බහුතරය පෙන්නුවත් නැතත් ඉක්මණින් ආණ්ඩුව විසුරුවාහැර

මහමැතිවරණයකට යාම තම අරමුණ බවයි.
19 වන සංශෝධනය අනුව මෛත්‍රීට හිතුමනාපයට පාර්ලිමේන්තුව විසුරුවන්නට බැරිය. ඒ සඳහා පාර්ලිමේන්තුවට කල්පිරෙන තුරු 2020 මාර්තු තෙක් ඉවසිය යුතුය. නමුත් අයවැයක් පරාජය වීම හෝ 2/3 එකඟතාව මත  විසුරවිය හැකිය.

14 වනදා ඇරඹෙන පාර්ලිමේන්තු වාරයේදී මහින්ද අයවැය විසර්ජන පනතක් ගෙන එන්නට මේ දිනවල සූදානම් වන අතර එය පරාජයට පත්වීම මගින් ව්‍යවස්තාව අනුව පාර්ලිමේන්තුව විසුරුවන්නට අපේක්ෂා කරන බව විද්වත් හමුවේදී ඉඟි කලේය. 'එහෙම කළත් මම දිනුම්. මට ඕනෑ වුනේ මේ රජය පෙරළන්නයි..' මහින්ද එහිදී කියා තිබුණි.  ඒ අනුව මහින්දට බහුතර බලය පාර්ලිමේන්තුවේදී ලැබුණත් ඔහු කරන්නට යන්නේ එය පරාජයට ඉඩහැරීම බව පෙනෙන්නට තිබේ.

14 වනදා මහින්දට වඩා රනිල්ට ඡන්ද ලැබී මහින්ද තාවකාලික අගමැති ධූරයෙන් නෙරපන්නට ක්‍රියා කරත් නැවත  රනිල්-මෛත්‍රී ආණ්ඩුවක් පවතී යයි විශ්වාසයක් නැති බව දේශපාලන ආරංචි වාර්තා කර තිබේ. රනිල්ට ටීඑන්ඒ සමග ආණ්ඩුවක් පිහිටුවීමට ටීඑන්ඒ එකඟතාවයක් ලැබේ යයි විශ්වාස කළ නොහැකි අතර සන්ධානයේ හෝ වෙනත් අයගේ 'යංතං' බහුතරයකින් ආණ්ඩුවක් කරගෙන යාම අවදානම් බව පූර්ව දේශපාලන අත්දැකීම් වලින් රනිල්ට වැටහී යනු ඇත.

 ඒ අනුව රනිල් කරන්නේද ඉක්මණ් මැතිවරණයකට යාමය.
එම අරමුණ සැලකීමේදී මේ දිනවල පත්කරන ඇමතිකං මාසයක්වත් නොපවතින ඒවා බවට පත්වනු ඇත.තකහනියේ කෙරෙන ආර්ථික සහනද පැහැදිලිවම 'ඡන්ද ගුන්ඩුය'.
මහින්දගේ අපේක්ෂාව වන්නේ සන්ධානයෙන් තරග කර ඉක්මන් මහමැතිවරණයකින් ජයගන්නටය.මහින්ද සන්ධානයෙන් තරග කරන්නේ නම් 2020 ජනපති අපේක්ෂකයා ගෝඨා නොව මෛත්‍රීය. එකඟතාවය එයයි.