නව රජයේ සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරයා ලෙස එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක ප්‍රියන්ත දිවුරුම් දීමෙන් පසු නාත්තන්ඩියේ පිහිටි ඔහුගේ නිවසට
මේ වන විට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට මාරවිල පොලීසිය කටයුතු කර ඇත.
ඊයේ (04) පස්වරුවේ අශෝක ප්‍රියන්ත නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස දිවුරුම් දුන් අතර ඔහු පුත්තලම

දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ අයෙක් විය.
ප්‍රවෘත්තිය ප්‍රචාරය වීමත් සමග යතුරුපැදිවලින් පැමිණ ඇති කිහිප දෙනෙකු නාත්තන්ඩිය – මරද ප්‍රදේශයේ පිහිටි අශෝක ප්‍රියන්ත නියෝජ්‍ය ඇමතිවරයාගේ නිවස ඉදිරියට පැමිණ විරෝධය පළ කර තිබේ.
ඔවුන් බැණවැදී නිවස කුඩු පට්ටම් කරන බවට පවසා ඇති අතර ගල් ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් තිබී ඇත.
ඒ වන විට නියෝජ්‍ය ඇමතිවරයාගේ නිවසේ ආරක්ෂාවට සිට ඇත්තේ එක් පොලිස් නිලධාරියෙකු පමණි.
බුද්ධි අංශ විසින් මේ බව වාර්තා කිරීමත් සමග අශෝක ප්‍රියන්තගේ නිවසට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට මාරවිල පොලීසිය කටයුතු කර තිබේ.
ඊට අමතරව අතිරේක ජංගම මුර සංචාරයක්ද එම ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීමට මාරවිල පොලීසිය කටයුතු කර ඇත.