https://www.gossiplankanews.com/2018/11/bmich-dog-masscare.html#more
පෙරේදා (20) සවස් කාලයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දිවි ගෙවූ සුනඛයන් විශාල පිරිසකට නාදුනන කණ්ඩායමක් විසින් වදහිංසා පැමිණවීමේ සිදුවීමක් වාර්තා වේ. මෙය ඝාතනයක්ද නිර්වින්දනය කර බාහිරට රැගෙනයාමක්දැයි
පැහැදිලි නැත.
එදින සවස සම්මන්ත්‍රණ ශාලා භූමියට පැමිණි පුද්ගල කණ්ඩායම පරිශ්‍රය අවට සිටි සුනඛයන්ට යම් එන්තක් විදින ලද බවත් ඉන් පසුව එම සුනඛයන් වේදනාවෙන් දගලන්නට වූ බවත් පසුව එම සුනඛයන් ගෙන් සමහරෙකු නිසොල්මන්ව බිම ඇද වැටුණු බවත් වාර්තා විය.

එදින

එම ස්ථානයේ පැවැති ආගමික හමුවකට පැමිණි කණ්ඩායමක් මෙම සිද්ධිය දැක ඇති අතර ඔවුන් මේ ගැන සත්ව හිමිකම් සංවිධාන වෙත දන්වා තිබේ.

නිසොල්මන් වූ සුනඛයන් ඒ මොහොතේම මරණයට පත්වන්නට ඇති බවට ඔවුන් සැකකරන අතර වේදනාවෙන් දගලමින් සිටි සුනඛයන් වාහනයක දමා ගෙන පිටතට ගෙනගිය බව නිරීක්ෂණය වී තිබේ. මේ ගැන විමසීම් කරන්නට ගිය ආගමික කණ්ඩායමට එම පිරිස දන්වා ඇත්තේ මෙය සුනඛ ඝාතනයක් නොව ඔවුන් නිර්වින්දනය කොට වෙනත් ස්ථානයකට ගෙන ගොස් දැමීමක් බවය.

එහෙත් නිර්වින්දන එන්නතක් ලැබීමෙන් පසු සුනඛයන් වේදනාවෙන් දඟලන්නේද යන්න සැක මතුව තිබේ. සත්ව අහිංසා සහ හිමිකම් ක්‍රියාධරයන් ඒ සම්බන්ධයෙන් සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ තමන් එබදු සිද්ධියක් පිළිබඳ කිසිත් නොදන්නා බවකි.