https://www.gossiplankanews.com/2018/11/anura-kumara-speaks.html#more
මේ දිනවල පවතින දේශපාලන වාතාවරණය තුළ ජනතා විමුක්ති පෙරමුණ හැසිරෙන ආකාරය පිළිබඳව රටේ විහාල අවධානයක් යොමුව පවතී. ඔවුන් පාර්ලිමේන්තුව තුළ මධ්‍යස්ථ මතයක සිටින බවට අදහස් පළවුවද ඊයේ පෙරේදා එම මතය වෙනස් කරන්නට යන බවට හැඟෙන හැසිරීම් කිහිපයක නිරතවනු පෙනිණි. ද්‍රවිඩ ජාතික සංවිධානයේ සම්බන්ධන් විපක්ෂනායකවරයා හමුවීමටද
ජවිපෙ ගිය අතර මේදක්වා ස්වාධීනව සිටි නමුත් කුමන්ත්‍රණකාරයින් පරාංජය කළ යුතුය යන ද්‍රවිඩ සන්ධාන නව ස්ථාවරය ජවිපෙටද වලංගු වූ සෙයක් පෙනෙන්නට තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඊයේ සවස පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙසේ අදහස් පළවිය.

'මහින්ද රාජපක්ෂත්, මෛත්‍රිපාල සිරිසේනත් පෙන්නුම් කරමින් තිබෙන්නේ වරදාන, වරප්‍රසාද හා කළු සල්ලි ලබාදී ආණ්ඩු හදන්න පුළුවන් කියලා. එම නිසා එම කුමන්ත්‍රණය පරාජය කළ යුතුයි. අපි කථානායකවරයාට කියනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා.

මොකද පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් බහුතරයක් පාර්ලිමේන්තුව කැඳවන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
බලය ලබාගැනීමේ කුමන්ත්‍රණයේම කොටසක් වන පාර්ලිමේනච්තුව කල් දැමීමේ කුමන්ත්‍රණය පරාජයට පත්කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ ලැබෙන ඕනෑම අවස්ථාවකදී මෙම දේශපාලන කුමන්ත්‍රණය පරාජයට පත්කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතදීත් මෙම දේශපාලන කුමන්ත්‍රණය පරාජයට පත්කළ යුතුයි. ඒ වෙනුවෙන් ලබන 09 වැනිදා රටේ ප්‍රධාන නගර 04කදී ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ පවත්වනවා. 12 වැනිදා කොළඹදී සිවිල් සංවිධාන, බුද්ධිමතුන්, වෘත්තිකයන් එක්කර ගනිමින් පුළුල් සාකච්ඡාවක් ආරම්භ කරනවා.

කථානායකවරයාට අපි කියනවා, පාර්ලිමේන්තුව කල් තැබීම පිළිගන්න එපා කියලා. මොකද, පාර්ලිමේන්තුව කල් තැබීම සම්බන්ධයෙන් කථානායකවරයා දැනුවත් කරලා නැහැ. ඒ වගේම නැවත කැඳවන දිනය නිශ්චිතව කථානායකවරයාට දන්වලා නැතිව තමයි ගැසට් නිවේදනය නිකුත් කරලා තිබෙන්නේ. මේ වන විටත් කථානායකවරයා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා නව වෙනස්කම් නොපිළිගන්නා බවත් නැවත පාර්ලිමේන්තුව කැඳවන තෙක් තමන් පිළිගන්නේ පෙර පැවැති තනතුරු බවත් කථානායකවරයා ප්‍රකාශයට පත්කර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කථානායකවරයාගේ මෙම තීරණය ඉතා හොඳ ප්‍රබල තීරණයක් බව ප්‍රකාශ කරන අතර එවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් කථානායකවරයාට ස්තුතිය පිරිනමනවා.

එමෙන්ම ව්‍යවස්ථාවට එරෙහිව පත්කරන ලද තනතුරු සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමේ ඡන්දයක් පැවැත්වුවහොත් ඒ වෙනුවෙන් ජ.වි.පෙ. සහාය පළ කරනවා. එමෙන්ම නව ආණ්ඩුව විසින් අයවැය ලේඛනයක් ඉදිරිපත් කළහොත් එය පරාජයට පත්කිරීමට කටයුතු කරනවා. මන්ද ඔවුන් විසින් ඉදිරිපත් කරන්නේ දිගුකාලීන ආර්ථික දැක්මක් සහිත අයවැය ලේඛනයක් නොවේ. තමන් විසින් කුමන්ත්‍රණයෙන් ලබාගත් බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන ආලවට්ටම් පමණයි. එම නිසා අපි කථානායකවරයාට නැවතත් කියන්නේ තමන්ගේ ස්ථාවරය මත පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි.

ප්‍රජාතන්ත්‍රවාදය අහිමිවීම හේතුවෙන් විශාල බැට කාපු දේශපාලන ව්‍යාපාරයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීම නිසා විශාල ජීවිත ප්‍රමාණයක් අහිමිකරගත් දේශපාලන ව්‍යාපාරයක් අපි. එම නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන තර්ජනයන් පරාජයට පත්කොට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මෙසේද පැවැසීය.

ප්‍ර : පාර්ලිමේන්තුව විසුරුවිය හැකි අවස්ථාවක් ගොඩනැඟෙනවාද මේ සමඟ?


පි : අයවැය පරාජය වුවහොත් සිදුවන්නේ ආණ්ඩුව විසුරුවා හැර බහුතරය පෙන්වන කණ්ඩායම නව ආණ්ඩුක් ගොඩනැඟීමයි. අයවැය පරාජයට පත්වීමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවන්නේ කාලය අවසන් වීමෙන් හෝ වසර හතර හමාරක් ගත වීමෙන්. ජනාධිපතිවරයාට ලැබෙන බලයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් හෝ පාර්ලිමේන්තුවේ 2/3ක යෝජනා සම්මතයෙන් පමණයි.

ප්‍ර. කළු සල්ලිවලට මන්ත්‍රිවරු විකිණෙන බව ජ.වි.පෙ. ප්‍රබල විවේචනයක් නඟනවා?

පි : කළු සල්ලිවලට මන්ත්‍රිවරුන් මිලදී ගෙන ආණ්ඩු හැදීමේ සංස්කෘතිය මීට පෙරත් සිදුවුණා. කළු සල්ලිවලින් ආණ්ඩු හැදීම ව්‍යවස්ථා වගන්තිවලින්ම නැවැත්වීමට හැකියාවක් නැහැ. ඡන්දය ලබාදෙන ජනතාව තමයි තීරණය කළ යුත්තේ විකිණෙන මන්ත්‍රිවරුන්ට තවදුරටත් ඡන්දය ලබා දෙනවාද නැද්ද කියලා. ජනතාව තමන් විසින් ඡන්දය ලබාදෙන ජනතා නියෝජිතයා මැතිවරණයෙන් පසු ප්‍රතිපක්ෂව හිටගන්නවා නම් ජනතාව තමයි ඔවුන් පරාජයට පත්කළ යුත්තේ.

2014දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ ඒ මොහොතේ තිබුණු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුවයි. ඒ මොහොතේදී පාර්ලිමේන්තුවට වසරක් ගත වූ පසුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ව්‍යවස්ථාවෙන් තිබුණා. එම මොහොතට අනුව එය ව්‍යවස්ථාවට එකඟයි. නමුත් 19 වැනි සංශෝධනය සම්මත වීමෙන් පසුව ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් නැහැ. 19ට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ වසර හතර හමාරකින් පසුවයි.

ප්‍ර. මුදලට මන්ත්‍රිවරුන් විකිණෙනවා නම් එය ජනවරමට පයින් ගැසීමක් නේද?

පි : ජනාධිපතිවරයා තමන්ට ලැබුණු හැට දෙලක්ෂයක් ඡන්ද පසෙක දමා ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට පනිනවා. එම නිසා දැන් ලංකාවේ ජනාධිපතිවරුත් විකිණෙන තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. ජනාධිපතිවරයාත් විකිණෙනවා නම් මන්ත්‍රීවරු ගැන කවර කතාද? එම නිසා මෙම සිදුවීම්වලින් වර්තමාන දේශපාලනය පිළිබඳව ජනතාවට ඕනෑ තරම් පාඩම් කියාදෙන්න තිබෙනවා.

රටේ පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක බලය, අධිකරණ බලය, ජනාධිපතිවරයාගේ විධායක බලය යනුවෙන් බල කේන්ද්‍ර තුනක් තිබෙනවා. නමුත් දැන් සිදුවී තිබෙන්නේ කථානායකවරයාගේ ව්‍යවස්ථාදායක බලයට ජනාධිපතිවරයා අතපොවා තිබෙනවා. ජනාධිපතිවරයාට ඒ සඳහා අයිතියක් නැහැ. ජනාධිපතිවරයාගේ එම බලය විකෘති තත්ත්වයක්. එවැනි විකෘති තත්ත්වයන් මඟහැරීමට තමයි 20 වැනි සංශෝධනය යෝජනා කළේ. ඒ මඟින් ජනාධිපතිවරයාට අත්තනෝමතිකව පාර්ලිමේන්තුව කල් තැබීමට ඇති බලය අහෝසි කිරීමට යෝජනා කරනවා. ඒ වගේම මන්ත්‍රිවරුන් පිල් මාරු කිරීම වැළැක්වීමට 20 වැනි සංශෝධනයෙන් යෝජනා කොට තිබෙනවා.

ප්‍ර : ඇති වූ තත්ත්වය පිළිබඳ රටවල් කිහිපයක් මත පළ කළා?

පි : බටහිර රටවල් අපේ රටට විවිධ අවස්ථාවල බලපෑම් කරනවා. එම විදෙස් රටවල මැදිහත්වීමට පාර කපන්නේ අපේ රටේ පාලකයන් විසිනුයි. රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම වැනි අවස්ථාවලදී බටහිර රටවල් විසින් අපේ රටට විවිධ අතපෙවීම් සිදුකරනවා. අද සිදුවී තිබෙන්නේ එයයි. මෛත්‍රිපාල සිරිසේන විසින් විදේශීය රටවලට රතු පාවාඩ එළා ආරාධනා කොට තිබෙනවා.
ප්‍ර : ඉදිරි මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව ජ.වි.පෙ. ස්ථාවරය කුමක්ද?

පි : ජනාධිපතිවරයා බලහත්කාරයෙන් ආණ්ඩුවක් ගොඩනඟා එම ආණ්ඩු බලය පාවිච්චි කොට, මාධ්‍ය බලය පාවිච්චි කොට ඡන්දයක් කැඳවීම සාධාරණ නැහැ. එම නිසා බලහත්කාරයෙන් ගොඩනඟා තිබෙන ආණ්ඩුව පළමුව පරාජයට පත්කළ යුතුයි. ඉන් අනතුරුව ඡන්දයක් පැවැත්වීමට සාධාරණ වටපිටාවක් සකස් කරගත යුතුයි. බලහත්කාරී ලෙස ගොඩනඟාගත් ආණ්ඩුවක් මඟින් කැඳවන ඡන්දයක් සාධාරණ ඡන්දයක් වන්නේ නැහැ.

අනුරාධා හේරත්