දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රින් හතර දෙනකු ඉදිරි දින දෙක ඇතුළත මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම සඳහා එක්වීමට ඇති ඉඩකඩ වැඩි බව දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්ව ස්වාධීන වූ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා 03දාපැවසීය. තමන් මුලින්ම කවරකුටවත්
සහාය නොදක්වා සිටීමට

සුදානමින් සිටියත් පළාතේ ජනතාවගේ ඉල්ලීමත්, පළාත් සංවර්ධනය කිරීමට අවස්ථාවක් ලැබීමත් නිසා තමන් මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට එක්වන බව පැවැසීය.

මේ එක්වීම නිසා තමන්ට අමාත්‍ය පදවියක් ලැබීමට ඉඩ ඇති බව කී මන්ත්‍රිවරයා, තමන්ගේ මන්ත්‍රි පදවියෙන් වන්නියේ ජනතාවට කළ සේවයට වඩා විශාල සේවයක් කිරීමට හැකි නිසා තමන් මෙම තීරණය ගත් බව කීය. තමන්ට අමතරව දෙමළ ජාතික සන්ධානයේ 4ක් ඉදිරි දින දෙක ඇතුළත මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එකතු වීමට නියමිත බවද ආනන්දන් මන්ත්‍රිවරයා පැවැසීය. ශිවශක්ති ආනන්දන් මන්ත්‍රිවරයා එසේ ප්‍රකාශ කළද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් පක්ෂය හැර දමා නොයමට තීරණය කොට තිබේ. ශිවශක්ති ආනන්දන් මන්ත්‍රිවරයා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ස්වාධීන වී සිටින මන්ත්‍රීවරයකු නිසා ඔහු පිළිබඳව යමක් ස්ථිරව ප්‍රකාශ කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානය කියයි.